Tuesday, February 2, 2021

ඇමරිකාවේ බල පෙරළිය හා අපේ රටේ අනාගතය


පසුගිය වසරේ අග පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වී තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණය තුල මහා පරිමාණ වංචා සිදු වී ඇති බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිමය පියවරද ගෙන ඇත. මේ වන විට මැතිවරණ වංචා සම්බන්ධ යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින්නේ සත්‍ය වශයෙන් එවැන්නක් සිදු වී ඇති බවද තහවරු කරමිනි. කෙසේ වෙතත් දැන් ට්‍රම්ප් ජනපති ධූරයට සමු දී ඇති අතර ප්‍රතිවාදී ජෝ බයිඩන් ඇමරිකානු ජනපති ධුරයෙහි දිවුරුම් දී අවසන්. අනෙක් විශේෂ කාරනය වන්නේ ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් එරට ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය ලෙස පත්ව සිටීමයි. අප සලකා බැලිය යුත්තේ ඇමරිකාවේ මේ දේශපාලන පෙරළිය අපේ රටට කෙලෙස බලපානු ඇතිද යන වැදගත් කාරනාවයි.
                                     

 ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරනු ලබන්නේ එරට රිපබ්ලිකන් පක්ෂය වන අතර වඩා ජාතිකත්ව නැඹුරුවක් ඇති ප්‍රභලම දක්ශිණාංශික බලවේගයයි. ජෝ බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය එතරම් ජාතිකත්ව නැඹුරුවක් නැති වාම ලිබරල්වාදී කණ්ඩායමක් බව පැහැදිලියි. මේ මාතෘකාව ඔස්සේ කරුණු සොයා බලන විට එම පක්ෂ දෙකේ හැසිරීම හා ප්‍රතිපත්ති මුලින්ම සලකා බැලීම ඉතා වැදගත්. ට්‍රම්ප් නියෝජනය කරන දක්ෂිණාංශික රිපබ්ලිකන් කඳවුර ජාතිකත්වය මත පිහිටන සාමූහිකත්වය ඒකාබද්ධතාවය ජාතික වගකීම්වලින් යුක්ත බව ආදී ගුණාංග ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වයන් දෙන අතර ආගමික හා සදාචාරාත්මක කරුණු වලටද වැඩි නැඹුරුවක් දක්වයි. එමෙන්ම  ස්ත්‍රීවාදය, ලිංගික ව්‍යාකූලත්වයන් ආදියට දක්ෂිණාංශික කඳවුර සිය දේශපාලන අනුග්‍රහය නොදක්වයි. ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය ඊට හාත්පසින් වෙනස් වෙයි. ජාතිකත්වයට හා ජාතික වගකීම් වලට වැඩි නැඹුරුවක් නොදක්වන එම කඳවුර පුද්ගලවාදය, විසංවිධානය ආදිය ඉහලට ඔසවා තබයි. එසේම ආගමික හා සදාචාරාත්මක වටිනාකම් සම්බන්ධව එතරම් සැලකිල්ලක් නොදක්වන අතර වාම ලිබරල් නැඹුරුවක් සහිත එම කඳවුර ස්ත්‍රීවාදය, ලිංගික ව්‍යාකූලත්වය ආදියට සිය දේශපාලන අනුග්‍රහය උපරිමව ලබා දීමට කැමතිය. ආර්ථික ප්‍රතිපත්ති වලදී ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් කඳවුර ධනවාදී නැඹුරුවකින් ක්‍රියාත්මක වන අතර පාරිසරික වටිනාකම් ගැන එතරම් විශේෂ සැලකිල්ලක් නොදක්වයි. කෙසේ වෙතත් සමස්ථ සොබාදහමටම එරෙහි අන්තගාමී නැඹුරුවක් ඒ තුල නැත. ගෝලීය ජාත්‍යන්තරවාදී බයිඩන්ගේ ඩිමොක්‍රටික් කඳවුර වමට බර වූ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන අතර මතුපිටින් බලන කල පරිසර හිතකාමී ආර්ථික ප්‍රතිපත්ති තිබුණත් මිනිස් අවශ්‍යතා මත සමස්ථ සොබාදහමටම අනිසි බලපෑම් ඇති කිරීමට ඒ තුල විරුද්ධත්වයන්ද නොමැත. 
                                 

 මෑත ඇමරිකානු දේශපාලනය සැලකීමේදී  2016 ට පෙර ඔබාමාගේ නායකත්වයෙන් පැවති ඩිමොක්‍රටික් පක්ෂ රජය අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්ති එක් අතකින් අපට අහිතකර වූවා සේම ලොව වෙනත් රටවලටත් බොහෝ දුරට හිසරදයක් වූවාට සැක නැත. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හරහා ඔබාමා රජය අපට කළ බලපෑම් කිසිවෙකුටත් අමතක විය නොහැක. ඔබාමාගේ ප්‍රතිපත්ති සමගින් ඔහුගේ වැඩපිළිවෙලවල් පෙරටත් වඩා හොඳින් කරගෙන යෑමට ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් 2016 ජනාධිපතිවරණයට හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වී තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප් එවර ජාතිකවාදී දක්ෂිණාංශික කඳවුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එවන් වටපිටාවකයි. ආරම්භයේ සිටම ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍ය ආයතන සියල්ල ට්‍රම්ප්ට එරෙහිව හිලරි ක්ලින්ටන්ගේ පැත්ත ගෙන තිබුණි. ජාතික ආරක්ෂාව, සංක්‍රමණික ගැටළු, ආර්ථික ප්‍රශ්න ආදිය ගැන ජන මනසට දැනෙන ලෙස නිසි ඉලක්කයට කතා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් අවසානයේ මැතිවරණ සටන ජය ගත්තේය. ඒ සමගම දක්ෂිණාංශික මෙන්ම ට්‍රම්ප්ගේද ප්‍රතිපත්ති වලට ජය අත් විනි. අපේ රටට අහිතකර බලපෑම් එල්ල කළ ඔබාමා පරිපාලනයේ ඩිමොක්‍රටික් පක්ෂ හිතවාදී චරිත ගනනාවකට සිය තනතුරු අහිමි වූයේ අපට යම් අස්වැසිල්ලක් ඇති කරමින්. ඔබාමා පරිපාලනය යටතේ නොකඩවා මානව හිමිකම් මන්තරය ජප කරමින් අපට හිසරදයක් වූ බලවේග බොහොමයක් නිහඬ විය. හිසරදයකට තිබුණානම් ඒ MCC ගිවිසුම සම්බන්ධ පැටලිල්ලයි, එයටද වග කිව යුත්තේ එවකට මෙරට පැවති රනිල්ගේ අවලම් ආණ්ඩුවයි. දැන් කෙසේ හෝ ට්‍රම්ප් පරාජය වී ඩිමොක්‍රටික් කඳවුරේ බයිඩන් ජය ගෙන ඇත. මැතිවරණය දූෂිත බව සත්‍යක් වුවද දැන් එය සාක්ෂි ඇතිව ඔප්පු කිරීම රිපබ්ලිකන් කඳවුරට තරමක් අපහසු වන්නේ විරුද්ධවාදී කඳවුර බලයට පත්ව අවසන් බැවින්. කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂය හරහා නැවත කරලියට එන්නේ ඔබාමා පරිපාලනය විසින් ගෙන ගිය වැඩපිළිවෙලවල් මෙන්ම ඉන් එහා ගිය වාම ලිබරල්වාදී ක්‍රියාකාරකම් බවනම් පැහැදිලියි. කමලා හැරිස් ඊට නොඅඩුව තම සහය දෙනු ඇත. මේ සියල්ල අපේ රටට එතරම් යහපත් නොවන බවනම්  පෙනෙන්නට තිබේ.
                               

මේ කරුනු තරමක් විස්තර සහිතව සොයා බලන්නේනම් ඒ සම්බන්දයෙන් මතවාදී විශ්ලේශනයක් කළ යුතුයි. ඩිමොක්‍රටික් පක්ෂයේ මතවාදී අරටුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වන අතර යම් මට්ටමක වාම නැඹුරුවක්ද ඇත. ඒ තුල ජාතිකත්වය වටා ඇති ජාතික වගකීම් වලටවැඩි නැඹුරුවක් නැති අතර ගෝලීය ජාත්‍යන්තරවාදී නැඹුරුව වැඩිය. එමෙන්ම වාම ලිබරල්වාදී ඒ කඳවුර බටහිර නූතනත්වයේ මතවාද සියල්ල තුල ඉතා සක්‍රියව සිටී. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් පරිසරය ගැන කුමක් කීවද තාක්ෂණය අවභාවිතා කරමින් පරිසරය ඇතුළු ජෛව ලෝකයත් සමස්ථ සොබාදහමත් අත්තනෝමතික වෙනස්කම් වලට භාජනය කිරීමට කැමතිය. අනෙක් අතට රිපබ්ලිකන් කඳවුර ගෝලීය ජාත්‍යන්තරවාදයට එතරම් නැඹුරුවක් නොදක්වන අතර ජාතිකත්වය හා ජාතික වගකීම් වලට වඩා පක්ෂපාතීයි. එම කඳවුර වැඩි අවධානයක් ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව, රටවැසියාගේ ජීවන තත්වය ආදිය කෙරෙහි යොමු කරයි. මේ අනුව බලන කළ අප තේරුම් ගත යුතු ප්‍රධානම කාරනය වන්නේ බටහිර නූතනත්වයේ මතවාදී ආක්‍රමණය ගෝලීය ජාත්‍යන්තරවාදය හරහා ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පැත්තෙන් අනුග්‍රහය දක්වන්නේ ඩිමොක්‍රටික් කණ්ඩායම යන්නයි. රිපබ්ලිකන් ක්ණ්ඩායම තුලත් ලෝක ආධිපත්‍ය ගැන උනන්දුවක් දක්වන පිරිසක් සිටියද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වැඩිපුර ක්‍රියාත්මක වූයේ ඒ සඳහා නොව ඔබාමා පරිපාලනය හරහා බිඳවැටුනු ජාතීක ආරක්ෂාව , ජාතික ආර්ථිකය ආදිය ශක්තිමත් කර ඇමරිකානු අනන්‍යතාවය නැවත ගොඩනැගීමටය.
                                                                                     

 මේ වපසරිය තුල බලන විටදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනය කුමක් වුවත් 2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජය වීම අපේ පැත්තෙන් අපට විශේෂ වාසිදායක තත්වයක් විය. ප්‍රධානම දෙයක් වූයේ ඩිමොක්‍රටික් පක්ෂය ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම සමග එක්ව මෙරට දෙමළ ජාතිවාදී ඊලාම් බෙදුම්වාදීන්ට පක්ෂව  අන්තර්ජාතික මට්ටමෙන් ගත් ක්‍රියාමාර්ග රැසක් අක්‍රිය වීමයි. අපේ ත්‍රිවිධ හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කිරීම කිසිවෙකුටත් අමතක විය නොහැක. හිලරි ක්ලින්ටන් ජයග්‍රහනය කළේනම් මේ විජාතික තර්ජන වඩා තීව්‍ර වීමට ඉඩ තිබුණි. එවකට ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරිගේ ජයග්‍රහනය පතා මෙරට TNA ඊලාම්වාදීන් පොල් ගසා දේව කන්නලවුවක් කළේ අහේතුවකට නොවෙයි. ට්‍රම්ප් පරිපාලනය මගින් ඇමරිකාවේ ප්‍රබල තනතුරු දැරූ ඔබාමා / ක්ලින්ටන් හිතවාදී හා මෙරට ඊලාම් බෙදුම්වාදීන්ට පක්ෂ පිරිස් එම තනතුරු වලින් ඉවත් කර දැමීම මෙහිදී අපට බෙහෙවින් සැනසිලිදායක විය. අවාසනාවකට ඒ වනවිට පැවති විජාතික ගැති යහපාලන රජය එම තත්වය අපට උචිත අයුරින් කලමනාකරනය කර ගැනීමට උනන්දු නොවීය. අනෙක් වැදගත් කාරනය වූයේ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හා ආර්ථික ප්‍රතිපත්ති තුලින් ඇමරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් ජාත්‍යන්තර සංවිධාන හරහා ලොව වෙනත් රටවලට කරන අනවශ්‍ය බලපෑම් නැවතී යෑමයි. ගෝලීය ජාත්‍යන්තරවාදය ඒ හේතුවෙන් තරමක් දුරට මතවාදීවද අකර්මන්‍ය  වී තිබුණි. වෙනත් ආකාරයකට කිවහොත් ඒ තුලින් අඩපණ වුනේ බටහිර නූතනත්වයේ මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයයි.
                                 

 පහුගිය ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු කුමක් සිදු වී ඇත්ද? මැතිවරණයේ සාධාරණත්වය කෙසේ වෙතත් ට්‍රම්ප් පරාජය වී ජෝ බයිඩන් ජයගෙන ඇත. එයින් පෙනී යන්නේ වාම ලිබරල්වාදී ඩිමොක්‍රටික් පක්ෂයේ බලය තහවරු වී ඇති බවයි. ඒ හරහා වක්‍රව කියැවෙන්නේ ඔබාමා / ක්ලින්ටන් වැඩපිළිවෙලවල් නැවත සක්‍රිය වී ඇති බව හා වාම ලිබරල් ක්‍රියාකාරකම් වඩා තීව්‍ර වන්නට ඉඩ ලැබෙන බවක්. දැනටත් ඇමරිකාව තුල දේශපාලනිකව සිදුවන ඇතැම් දේ ඇමරිකානුවන්ගේම දෝෂදර්ශනයට ලක්ව ඇත. බයිඩන් විසින් ට්‍රම්ප් පරිපාලනය මගින් ගත් බොහෝ ක්‍රියා මාර්ග ආපසු හරවන බව දැනටත් ප්‍රකාශිතයි. ඇමරිකානු තානාපතිවරියද මානව හිමිකම් මන්තරය මතුරමින් අපේ ජාතිකත්වයට හිතකර නොවන යම් යම් දේ දොඩවන ආකාරයක් පසුගිය දිනක රූපවාහිනියෙන්ද ප්‍රචාරය විනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමද නැවතත් අපේ රට සම්බන්ධයෙන් අපට අහිතකර ප්‍රකාශ නිකුත්කරන ආකාරය මෑතක අප දුටුවෙමු. ට්‍රම්ප් විසින් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් කරගත්තේ එය දේශපාලන මඩ ගොඩක් යැයි චෝදනා කරමින්. බයිඩන් විසින් ඒ තුල නැවතත් ඇමරිකාව සාමාජිකත්වයට ගෙන ගොස් ශ්‍රී ලංකාවට බාල්දි පෙරලීමට බොහෝ ඉඩකඩ තිබේ. අනෙක් අතට ඇමරිකානු ජනයාගේ බදු මුදල් නාස්ති කරමින් ගෝලීය ජාත්‍යන්තරවාදයේ උමතු මතවාදී ආක්‍රමණය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලවල් වලට ට්‍රම්ප් අනුග්‍රහය නොදැක්විය. නමුත් වාම ලිබරල්වාදී ඩිමොක්‍රටික් කඳවුර හා බයිඩන් / හැරිස් පරිපාලනය එම ක්‍රියා පිළිවෙතද නැවත සක්‍රිය කරනු ඇත. මේ සියල්ල දේශපාලනික වශයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව  අතින් අපට බෙහෙවින් අහිතකර බව අමුතුවෙන් කිවයුතු නොවන්නක්.
                     

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ සිදුවූවා යැයි කියන චන්ද අක්‍රමිකතා එක් පැත්තකින් තිබියදී ට්‍රම්ප්ගේ අවාසියට බලපෑ ඔහුගේ පරිපාලන දුර්වලතා නොතිබුණාම නොවේ. විරුද්ධවාදී ඩිමොක්‍රටික් කණ්ඩායම බලය ලබා ගැනීමට සූක්ෂම ලෙස ට්‍රම්ප් පරිපාලනයේ සුළු දුර්වලතා කලමනාකරනය කරගත් බව පැහැදිලියි. ට්‍රම්ප් ඇමරිකාවට බිහි වුන ජාතික නායකයෙක් මෙන්ම දක්ෂ නායකයෙක්ද වුනු බව ඇත්තක්. ඔහු දේශපාලනයේදී අවංකය, එමෙන්ම රටේ සැබෑ ජාතික ගැටළු හඳුනාගෙන සැලැස්මක් ඇතිව ක්‍රියා කිරීම අතිනුත් සබෑ ජනතා අපේක්ෂා අනුව කටයුතු කිරීම අතිනුත් ඔහු දක්ෂ මෙන්ම ක්‍රියාශීලී නායකයෙක් විය. එය එසේ වුවත් ඔහු දේශපාලන ගේම් ගැහිල්ලට දක්ෂ නොවූ බවක් පෙනේ. කොතරම් දක්ෂ කාර්‍ය ශූර ජාතික නායකයෙක් වුවත් ට්‍රම්ප්ගේ පරිපාලනය පැත්තෙන් සිදුවූ බරපතල අතපසුවීම් කීපයක් තිබුණු බව පෙනේ. ඉන් ජනාධිපතිවරණයේදීද ඔහුගේ අවාසියට බලපෑ ප්‍රධාන කාරනයක් වුනේ කොරෝනා ප්‍රශ්නයේදී එහි බැරෑරුම් කම ජනතාවට වටහා දී ඉන් ගැලවීමට ජනතාව පෙලගැස්වීමට ප්‍රමුඛත්වය නොදී චීනයට දොස් නගමින් සිටීමයි. තවත් එක් කාරනයක් වුනේ පොලිස් නිලධාරියෙකුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් කළු ජාතිකයෙකු මිය ගිය අවස්ථාවේ හැකි ඉක්මනින් වගකිවයුත්තන්ට එරෙහි පැහැදිලි ක්‍රියා මාර්ගයක් නොගැනීමයි. කපටි දේශපාලන ගේම් ගැහිල්ල හොඳින් දන්නා විරුද්ධවාදීන් මේ සිද්ධි වලින් හොඳහැටි පල ප්‍රයෝජන ගත්තේ ප්‍රමුඛ පෙලේ ඇමරිකානු හා ජාත්‍යන්තර ජනමාධ්‍ය බොහොමයක් ට්‍රම්ප් විරෝධී ස්ථාවරයකද සිටින අතරතුරයි. තම විරුද්ධවාදීන්ගේ දේශපාලන සටකපටකම් ඉදිරියේ අවංක ජාතික නායකයෙකු ලෙස ජාතික හැඟීමකින් ජනතාව ආමන්ත්‍රණය කරනු හැරෙන්නට ට්‍රම්ප් වෙනත් දේකට උනන්දු නොවූවා විය හැකියි. මැතිවරණය දින ගනනක් තිස්සේ පැවැත්වීම, චන්ද ගනනය ප්‍රමාද වීම හා ඊ-මේල් මගින් තැපැල් චන්ද භාවිතයට විශාල ඉඩකඩක් විවර කිරීම ආදිය එහිදී සිදු වූවායැයි කියන අක්‍රමිකතා වලට යම් පමණකට හේතු වන්නටද ඇත. කෙසේ හෝ ට්‍රම්ප්ගේ සුළු දුර්වලකම් කීපයක් මත ඔහුට එරෙහිව බයිඩන්ට චන්දය දුන් ඇමරිකානුවන්ට තමන් අතින් සිදු වූ අත් වැරදීමද තේරුම් යනු ඇත.
                             

කෙසේ නමුදු දැන් සියල්ල සිදු වී හමාරය. අප දැන් කළ යුත්තේ ඇමරිකාවේ වත්මන් දේශපාලන තත්වය අපට අහිතකර බව තේරුම් ගනිමින් අපට එල්ල විය හැකි අන්තර් ජාතික මට්ටමේ අභියෝග වලට මුහුන දෙන්නට සූදානම් වීමයි. එහිදී එක් වැදගත්ම කාරනයක් වන්නේ රටේ ජාතිකත්වය හා ජාතික අරමුණු මත ඒකාබද්ධ වුනු පුළුල් ජන බලවේගයක් ගොඩනගා ගැනීම හා ජන බලවේගයත් විධායකය අතර පුළුල් සන්ධානයක් ඇති කර ගැනීමයි. වත්මන් විධායක් ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිවම ජාතිකත්වය පැත්තේ සිටින ජාතික නායකයෙක් වෙයි. අන්තර් ජාතික මට්ටමෙන් අපේ ජාතිකත්වයට අභියෝග මතු වන මෙකල අපේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරගෙන තිබීම අපේ ජයග්‍රහනයක්. යම් විදිහකින් ඇමරිකාවේ ට්‍රම්ප් පරාජය වී බයිඩන්ට බලය ලැබෙන විට අපේ රටේ රනිල් ප්‍රමුඛ එ.ජා.ප රජයක් හෝ සජිත්ගේ සමගි ජන බලවේගයේ රජයක් තිබුනානම් කුමක් වෙයිද? මේ කරුණු සැලකිල්ලට ගෙන ජන බලවේගයක් ලෙස අපේ ජාතික අරමුණු මත රට පෙරට ගෙනයන වත්මන් ජනාධිපතිවරයා වටා ඒක රාශීව ඔහු ශක්තිමත් කිරීම අනිවාර්‍ය දෙයක්. එහිදී ජනාධිපතිවරයාට අන්තර්ජාතික මට්ටමෙන් එල්ල විය හැකි අභියෝග වලට මුහුන දීමේදී අපේ පැත්තෙන් දිය හැකි සහය උපරිමව ලබා දිය යුතු වනවා සේම ඇති විය හැකි ප්‍රශ්න වලින් ගොඩ එන සැලසුම්ද අපට තිබිය යුතුය. එයට යම් යම් කැපකිරීම් කිරීමට සිදු විය හැකිය, එය් ගැටළුවක් කර නොගත යුතු වෙයි. මානව හිමිකම් තර්ජනය දරුණු වී ආර්ථික සම්බාධක ආදී ගෝලීය ජාත්‍යන්තරවාදී ප්‍රහාර එල්ල වුවොත් ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සුදුසු ක්‍රියා මාර්ග ගනිද්දී අප ආර්ථික අභියෝග ජය ගැනීමට සාමූහිකව ක්‍රියා කළ යුතුය. අනෙක් වැදගත්ම කාරනය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ යම් දුර්වලකමක් ඇත්නම් ඊට විසඳුම් ලෙස මෙරට විජාතික ගැති හිවල් දේශපාලන කණ්ඩායම් පසුපස ගොස් නැවත රැවටී රටත් ජාතියත් අනතුරට පත් කර නොගැනීමට වගබලා ගැනීමයි. මෙරට දේශපාලනය තුල අප බොහෝ පාඩම් ඉගෙන ගෙන ඇති බැවින් තවත් තවත් අතපසුවීම් කරගෙන බැට කෑමට නොසිතිය යුතුය. ඒ ඇයිදැයි කියන්නේනම් අප තවත් එක් වරක් වරද්දා ගතහොත් දෙස් විදෙස් අපේ සතුරු බලවේග විශාල පිම්මක් ඉදිරියට පනිමින් සමස්ථ ජාතියටම මරු පහරක් එල්ල කිරීමට හොඳටම ඉඩකඩ ඇති නිසාවෙන්.