Wednesday, September 9, 2020

මෙරට ලිඛිත ඉතිහාසයට පෙර යටගියාව ගැන විධිමත් විමර්ශණයක් අවශ්‍ය ඇයි


ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මහාවංශය, දීප වංශය ආදී වංශ කතා මත පදනම් වන අතර අවශ්‍ය තරමට පුරාවිද්‍යාත්මක සාධකද තිබේ. නමුත් ඒ ලියවුනු ඉතිහාසයේ මූලාරම්භයට පෙර මෙරට ජනාවාස නොතිබුණා යැයි කිසි සේත් කිව නොහැක. උතුරු ඉන්දියානු ආර්යයන්ගේ සංක්‍රමණයට පෙර මෙරට යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස ගෝත්‍ර කිහිපයකට අයත් ජනයා රට පුරා විසිරී සිටි බවට පුරාවුර්ත වල කියැවෙයි. මේ ජන සමූහයන්ගේ යටගියාව කෙබඳුද යන්න ගැන මේ කාලයේ බොහෝ මාධ්‍ය වලින් මෙන්ම අන්තර්ජාල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් විවිධ මත පළ වෙමින් තිබේ. ඒ සියල්ල ක්‍රමවත් ලෙස පර්යේශනාත්මකව සොයාගත්  තොරතුරුම නොවන බව පැහැදිලියි. විශේෂයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල තොරතුරු දෙස බලන කළ මේ බව හැඟී යයි. පෙර කී යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ගෝත්‍ර ස්වදේශික හෙළයන් බවත් උතුරු ඉන්දියානු ආර්ය සහ ස්වදේශික අනාර්ය සම්මිශ්‍රණයක් ලෙස සිංහල ජාතිය බිහි වී ඇති බව දැනට පවතින ඉතිහාස කරුණු අනුව පිළිගත හැකි ප්‍රධාන සාධකයයි. සිංහල ඉතිහාසය වංශ කතාවල ලියවී ඇතත් හෙළ යුගයේ පුරාවුර්ත ඉතිහාසය ජනප්‍රවාද වලට සීමා වී තිබේ. මේ ජනප්‍රවාද මත පදනම් වන පුරාවෘත ඉතිහාසය ගැන විධිමත් පර්යේශණ මෙහෙයවමින් නිවැරදි හා පිළිගත හැකි සත්‍ය තොරතුරු අනාවරනය කරගත යුත්තේ කරුණු කිහිපයක් නිසා.

                                  

මේ කටයුත්ත කළ යුතුම දෙයක් වීමට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ උතුරේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් විසින් බොරු ඉතිහාස කරුනු සමාජගත කරමින් සිංහල ජාතිය ඉන්දියාවේ විජය පරපුරෙන් පමණක් පැවතෙන බවත්, විජයගේ ආගමනයට පෙර මෙරට විසූ අනාර්ය ස්වදේශිකයන් දෙමළ බවත් කීමට මෑතක සිට දැඩ් උත්සහයක් ගනු ලැබීම නිසා. නව පාර්ලිමෙන්තු මංගල සැසියේදීත් උතුරේ ප්‍රභලතම දෙමළ ජාතිවාදී බෙදුම්වාදියෙකු වූ විග්නේශ්වරන් කටින් එලියට පැන්න වචන ටිකේත් මේ අදහස් ගැබ්ව තිබේ. මේ දෙමළ ජාතිවාදීන් බයක් නැතිව බොරු බේගල් සහ බෙදුම්වාදී මිත්‍යාවල් සමාජගත කරන්නේ අදාල බලධාරීන් විසින් පිළිගත හැකි ආකාරයක ක්‍රමවත් වැඩපිළිවෙලක් අනුව මෙරට ලිඛිත ඉතිහාසයට එපිට ඉතිහාස කරුනු පිළිබඳ විමර්ශනයක් නොකිරීම නිසා. එය ඒ ආකාරයෙන් සිදු වන්නේනම් ලිඛිත ඉතිහාසය සමගද සැසඳෙන ඉන් ඔබ්බට ගිය අපේ යටගියාව ගැන බොහෝ කරුණු සොයා ගැනීමට හැකි වනු ඇත. විග්නේශ්වරන්ලාට උත්තර දීමට ඒ තරම් මහන්සි වන්නට උවමනා නොවෙයි. මෙරට රජවරු පෘතුගීසින් පන්නා ගැනීමට ලන්දේසින්ගේ සහය ලබා ගැනීමත්, ලන්දේසින් විසින් උතුරේ දුම්කොල වගාව පටන්ගෙන දකුණු ඉන්දියානුවන් සේවකයන් ලෙස යාපනයට ගෙන්වාගත් ආකාරයත් ගැන මුල සිට අගට කරුනු ගෙනහැර පෑම හොඳටම ප්‍රමාණවත්. ඒය එසේ තිබියදී ලියවී නැති පුරාවෘත පිළිබඳ ගවේශනයන් මගින් වැද්ගත් නිවැරදි කරුණු සොයාගැනීමක් කිරීමෙන් ලිඛිත ඉතිහාසය සමග සංගත වන බොහොමයක් දේත් ඇතුළුව මෙතෙක් අනාවරනය වී නැති එහෙත් අප සියල්ලන් දැනගත යුතුම වන බොහෝ දේ පිළිබඳ රටම දැනුවත් වීම තුලින් ඉතිහාස කරුණු පිළිබඳ නිරවුල් බවක්ද ඇති වේ. ඒ හරහා සිංහලයා සතු මෙරට ජාතික උරුමයන් තහවරු වීමක් වනු මිස දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට කිසිදු වාසියක් අත් නොවීම නොඅනුමානයි. සිදු වන්නේ දෙමළ ඊලාම් බෙදුම්වාදී මිත්‍යාවන් අසත්‍ය බව තව දුරටත් තහවරු වීම පමණි.
                               

 දෙමළ ඊලම්වාදී ප්‍රශ්නය මෙන්ම සැලකිල්ලට භාජනය විය යුතු අනෙක් ගැටළුව වන්නේ ඉතිහාස කතා ඇසුරෙන් තම පෞද්ගලික මතවාද අනුව විවිධ නිර්මාණකරුවන් රූපවාහිනී කතා නිර්මාණය කිරීමයි. පෞද්ගලික රූපවාහිනී නාලිකා මගින් විකාශනය වන මේ ඉතිහාස කතා වලට නිර්මාණකරුවන් විසින් එම කතා දීර්ඝ කර ගැනීමට ඔවුන්ගේ කල්පිත අනුව ඇතැම් සිද්ධි එක් කරන්නේ ඔවුන්ගේම පෞද්ගලික මතවාද වලටත් අනුව බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාධාරන ලෙස ගත්තත් එවැනි සිද්ධි කතාවට අදාල වීම හා කතාවට ගැලපීම වැදගත්. නමුත් එවැනි කතා නිර්මාණ වල ඇතැම් සිද්ධි දෙස බැලීමේදී පෙනී යන්නේ බොහොමයක් ඒවා කතාවට අදාල නොවීම මෙන්ම නොගැලපීම හා ප්‍රායෝගික නොවන අසත්‍ය දේ බව ප්‍රේක්ෂකයාට හැඟී යෑමයි. ලිඛිත හෝ පුරාවෘත ඉතිහාස කතා යන කුමක් හෝ ඇසුරෙන් රූපවාහිනී කතා නිර්මාණය කිරීමේදී ඒ නිර්මාණ කරුවන් හැකි උපරිම ලෙස පෞරාණිකත්වය නිරූපනය කළ යුතුය. ඒ පාරිසරික , සමාජමය සංස්කෘතික යනාදී විවිධ පැති වලින්. එලෙසින්ම කතා ඉදිරියට ගලා යෑමේදී ඇතුල් කරන අමතර සිද්ධි කතා වලට අදාලව ඊට සංගත වන ලෙසින් ප්‍රායෝගිකත්වය ගැන ප්‍රේක්ෂකයාට සැක ඇති නොවන ආකාරයට ඇතුල් කිරීමද විය යුතුයි. නමුත් මෑතක සිට රූපවාහිනී නාලිකා වලින් විකාශනය වන එවැනි නිර්මාණ වලින් පෙර කී දෑ දක්නට නොලැබෙයි. ඒ වෙනුවට බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ බටහිර නූතනත්වයෙන් මොඩ් වුන ඉතිහාස චරිත රැගත් මොඩ් ඉතිහාස කතාය.
                               

 මේ වන විටත් පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක විකාශනය වන රාවණ හා මහවිරු පණ්ඩු යන කතා නරඹන විට ඉහත කී කාරනා ටික පැහැදිලිව පෙනේ. එයිනුත් අපේ මාතෘකාවට අදාලව රාවණ කතාව ගැන වැඩිදුර කරුණු කීම වැදගත්. ඒ මෙම ටෙලි නිර්මාණය ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට ගිය පුරාවෘත අනුව සැකසී තිබෙන්නක් වීම නිසා. රාවණ පුරාවෘත ගැන මෑත කාලයේ අන්තර්ජාලයද ඇතුළුව විවිධ මාධ්‍ය වලින් විවිධාකාර මත පල වීම විශේෂයෙන් දකින්නට තිබෙන දෙයක්. ඒ සියළු මතිමතන්තාර දෙස බැලීමේදීත් ඉන් බොහොමයක් පිළිගත හැකි මූලාශ්‍ර අනුව ඉදිරිපත් නොවන බව පැහැදිලියි. ඇත්තෙන්ම පුරාවෘත වල එන සියල්ලෙහි මූලාශ්‍ර සෙවීම අපහසු වුවත් රාවණ රජ සහ පරපුර ගැන සඳහන් දේ ඇසුරෙන් එකිනෙක ගැලපෙන යම් තොරතුරු ප්‍රමාණයක් සොයා ගත හැක. රූපවාහිනී කතාවටද ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ මෙවැනි තොරතුරු බව රහසක් නොවේ. රාවණ පුරාණය පිළිබඳ විවිධ පාර්ශවයන් වෙතින් ඉදිරිපත් වන එක් එක් මතවාද වලද යම් යම් පරස්පරතාවයන් තිබෙන බැවින් රූපවාහිනී කතාවට පසුබිම් කරගත් මූලාශ්‍රද ඒ ආකාරයෙන්ම සත්‍යමයි කියා සැලකිය නොහැක. රාවණ රජු සහ රජ පරපුර ගැන කියැවෙන බොහෝ දේ පුරාවෘත මූලාශ්‍රයන් අනුව බලන කල ගැටළුසහගත නොවුවත් කතාව ඉදිරියට යෑමේදී ඊට නිර්මාණකරුවන් විසින් එක්කර තිබෙන අතරමැදි සිද්ධි බොහොමයක් ගැටළුකාරීය. එමෙන්ම කතාවේදී සිදුවීම් වලට අදාල කාල වකවානු අනුව පෞරාණිකත්වය විවිධ පැති වලින් හරි හැටි නිරූපණය නොවේ. 
                  

පැරණි හෙළ යුගයේ යක්ෂ ගෝත්‍රිකයින් සතු වූ විවිධ හැකියාවන් නිරූපනය කතාවේ හැටියට සාර්ථකව පෙන්වා ඇත. එසේම අධිමානසික හැකියාවන් තුලින් අතීන්ද්‍රිය ලෝකයත් සමග මනසින් ගනුදෙනු කිරීම සාර්ථකව පෙන්වා තිබේ. ඒ කිසිවක් එකල නොතිබූ දේ හෝ  අසත්‍යමයි කියා අප නොකියමු. නමුත් කතාව ගලා යෑමේදී රාවණ අවධානම් ලෙස අනාරක්ෂිත වන අවස්ථා බොහොමයක් එසේ විය හැකිදැයි ප්‍රශ්නකාරී වන්නේ රාවණ යනු හෙළයේ ගැලවුම්කරුවා වෙද්දී ඔහු එතරම් අනාරක්ෂිත වීමට යක්ෂ ගෝත්‍රිකයන් ඉඩ තබන්නට ඇත්ද යන ගැටළුව ඇති වන විටයි. කුවේරගේ කුඩා සෙබල කණ්ඩායම් සමග යක්ෂ සෙබළුන් කැලෑ තුල සටන් වැදීම කතාවට අදාල වුවත් බොහෝ සටන් ජවනිකා දුර්වලය. ඒ බොහොමයක් වාණිජ චිත්‍රපට වල ජවනිකා වලින් එතරම් වෙනස් නොවේ. විශේෂයෙන්ම කිවයුත්තක් වන්නේ කතාවේ නිර්මාණ කරුවන් ඇතුළු අධ්‍යක්ෂකයින් එකළ යක්ෂ ගෝත්‍රික ස්ත්‍රීන් අතිෂය සටන්කාමී බව පෙන්වීමට අසාර්ථක උත්සහයක් දරා තිබීමයි. එය එක් පසකින් හාස්‍යජනකය. සොබාදහමේ සියළු අංග මනා ලෙස කලමනාකරණය කිරීමට දැන සිටි යක්ෂ ගෝත්‍රිකයන්ට ලිංගිකත්වයට අදාල කාරනා වලදී ස්ත්‍රී පුරුෂ විශේෂනයන් නොතිබුනා හෝ සමාජ හැඩගැස්මක් ඒ මත නොතිබෙන්නට පුළුවන්කමක් නැත. රාවණගේ මව යක්ෂ සේනාධිපතිනියක් කීමටත් තවත් එවැනි සෙන්පතිනියන් සිටි බව පෙන්වීමටත් කතා කරුවන් හිතාමතා බොරු හිතළු ඇතුල් කරන්නට ලොකු උත්සහයක් දරා තිබේ. ඒ සඳහා කුවේරගේ සෙබළුන් හා යක්ෂ ස්ත්‍රීන් අතර සටන් ජවනිකා එක් කර තිබෙන්නේ ප්‍රායෝගික නොවන බව පැහැදිලිව පෙනෙන ලෙස වගේම හාස්‍යජනක ලෙසයි. කුවේරගේ සෙබළුන් 7ක් 8ක් සමග තනිව සටන් කරන යක්ෂ ස්ත්‍රීන් වානිජ චිත්‍රපටවල මෙන්ම මෝඩ සටන් ජවනිකා රඟපෑම කැපී පෙනේ. යක්ෂ ස්ත්‍රින්ගෙන් පහර කන කුවේරගේ සෙබළුන්ට බිම ඇද වැටුනු පසු නැගිටින්නටත්  නොහැක. එවැනි පිරිමින් රජෙකුගේ සෙබළුන් විය හැකිද? අනෙක් අතට යක්ෂ ස්ත්‍රීන් එලෙස ජවසම්පන්න සටන්කාමිනියන් නම් හෙළය සුරක්ෂිත කිරීමට රාවණ කෙනෙකු මොකටද? කතාවේ පුලස්ති ඝෘෂි, විශ්‍රවමුණි ප්‍රමුඛ යක්ෂ පාර්ශවයේ ධූමරක්ඛ සෙන්පතිටත් වඩා රාවණගේ ආරක්ෂාව යක්ෂ ස්ත්‍රීන්ට භාර කිරීමට මේ නූතනවාදී මොඩ් කතාකරුවන් උත්සහ කර ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව බටහිර නූතනත්වයෙන් මොඩ් වී ඔවුන් මොළ කුරුවල් කරගෙන තිබීම නිසා. එවැන්නන්ගේ නිර්මාණ වලට බටහිර කාන්තාවාදයේ කැටයම් ඇතුලත් වන්නේ ඒ තුලින් කතාවට ජනප්‍රියත්වයක් ලැබෙනු ඇති බවට ඔවුන් කරන උපකල්පන තුලින්. එසේ නොමැතිව සත්‍ය ලෙස කතාවේ මෙන් සටන්කාමී යක්ෂ ස්ත්‍රීන් සිටි නිසා නොවේ.
                               

 පෞද්ගලික රූපවාහිනී නාලිකා වලට හා බටහිර නූතනත්වයේ මතවාදී ග්‍රහනයට හසුව ඉන් ගොඩ එන්නට බැරිව සිටින ටෙලි නිර්මාණකරුවන්ටත් සිය අභිමතය පරිදි ඉතිහාස කතා වලට ඕනෑම හිතළුවක් එක් කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා එවැනි ටෙලි නිර්මාණ නියාමනයට වැඩ පිළිවෙලක්ද ඇතිකර හැකිනම් වඩත් හොඳයි. දැනටත් රාවණ කතාව බලන විට එය අපේ යටගියාවට අයත් ඉතිහාස කතාවක් ලෙස කිසිවෙකුටත් නොහැඟෙයි. ඒ වෙනුවට එය නරඹන කෙනෙකුට හැඟෙන්නේ නවීන වීඩියෝ ගේම් එකක් හෝ වන්ඩර් වුමන් වැනි කතාවක් බලන සෙයකි. පුරාවෘත කතා ගැන එකිනෙක සැසඳෙන තොරතුරු මූලාශ්‍රයන් වැඩි ගනනක් ඔස්සේ සාර්ථක පර්යේශන මෙහෙයවීමේ හැකියාවක් නැති විය නොහැක. ඒ සඳහා ප්‍රවේශයක් දැන්වත් ලබා ගත යුතුයි. රාවණ කතාවම උදාහරන ලෙස ගත්තත් ඒ හා බැඳුනු ඉතිහාසගත ස්ථාන විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ හා රටේ බොහෝ ප්‍රදේශ වල ඇත. එම ස්ථාන හා සිද්ධි මූලාශ්‍ර, භූවිද්‍යාත්මක සාධක ආදී විවිධ පැති වලින් පර්යේෂණ මෙහෙයවීමේ කැකියාව පැහැදිලිව ඇත. පුරාවෘත ඉතිහාස කතා ගැන කරුණු විමර්ශණය කිරීමේදී සිංහල වෙදකම, පාරම්පරික සටන් කලාව, නර්තන අංග, බලි තොවිල් ගුරුකම් ආදියට කොපමණ දිගු ඉතිහාසයක් ඇත්ද යන්න ක්‍රමවත් විශ්ලේෂණයකට භාජනය වන්නේනම් මේ කතා වල යටගියාව සම්බන්ධයෙන් කරුණු සොයා ගැනීමටද එය වක්‍රාකාරයෙන් බොහෝ වැදගත් වනු ඇත. මේ සියල්ල කිරීමේදී මතවාදීව බටහිර නූතනත්වයේ මානසික වහල් බවෙන් ඔබ්බට ක්‍රියා කිරීම අතිශය වැදගත්. අපේ යටගියාව ගැන අනාගත පරපුරටත් හරි හැටි කියා දිය හැකි නිරවුල් කරුණු සොයාගත හැක්කේ එවිටයි. එවැනි විමර්ශනයකින් ලිඛිත නොවන ඉතිහාසය ගැන තොරතුරු සොයාගත හැකිනම් ඒ තොරතුරු මහාවංශය වැනි ලිඛිත ඉතිහාස මූලාශ්‍ර සමග සංගත නොවනු ඇතැයි කිසි විට චකිතයක් ඇති කර ගත යුතු නැත. පරස්පරයන් තිබිය හැකි වුවත් සැසඳෙන තොරතුරු බොහොමයක් හමු වනු ඇත. පැරණි හෙළ ඉතිහාසය ගැන තොරතුරු සෙවුවත් මහාවංශය ගැන කතා කරත් සනාථ වන්නේ මෙරට සිංහලයාගේ උරුමය මිස අන් කිසිවක් නොවේ. එය එසේ වන විට විග්නේශ්වරන්ලාගේ හා ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගේ කටවල් වැසී යනු ඇත. එලෙසම බටහිර නූතනත්වයෙන් මොඩ් කළ පුරාවෘත කතා හරහා විජාතික මතවාදී ආක්‍රමණිකයාට මෙරට අනාගත පරපුරේ මොළ හේදීමටද නොහැකි වනු ඇත.

No comments:

Post a Comment