Wednesday, August 26, 2020

වමේ සමාජවාදයට වඩා පොදු හතුරා සමග සටන වැදගත් වීම.

 


මහ මැතිවරණය අවසන් වී ඇත. ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ජාතිකත්ව කඳවුර ජයගෙන තිබේ. මෙහිදී විජාතික හතුරු පාර්ශවය දැවැන්ත පරාජයක් ලැබුවේ ඔවුන්ගේ මෙරට ක්‍රියාකාරී දේශපාලන කඳවුර මෙන්ම සුපුරුදු නවාතැන්පල වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය යන්තම් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් පමණක් ලබා ගනිමින් අන්ත පරාජයක් ලබමින්. ඒ එසේ වුවත් සජිත්ගේ සමගි ජන බලවේගයද ජාතිකත්වය නියෝජනය නොකරන අතර ආසන 54ක් ලබාගත් ඔවුන් විජාතික බලවේග වලට මීලඟ ලැගුම්පොල වීමට බොහෝ ඉඩකඩ තිබේ. මේ කරුණු වැඩිපුර කීමට අවශ්‍ය නොවන්නේ කාටත් තත්වය පැහැදිලිව පෙනෙන්නට ඇති නිසා. කරුනු එසේ තිබියදී අපි මාතෘකාවට අදාල ප්‍රධාන කාරනයට එමු. ඒ මෙරට වාමාංශික මාක්ස්වාදී සමාජවාදයේ එක් ප්‍රබල චරිතයක් වූ වික්‍රමබාහු කරුනාරත්න රනිල්ගේ ලිබරල් ධනවාදී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වී කළුතර දිස්ත්‍රික්කයට තරග කර රනිල්ගේ පක්ෂයත් එක්කම අන්ත පරාජයට ලක්වී සුපුරුදු ලෙස පල්ලම් බැසීමයි. අප සාකච්ඡාවට ගත යුතු කාරනය වන්නේ වාමාංශික මාක්ස්වාදයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ලිබරල් ධනවාදී රනිල්ගේ කඳවුර සමග වික්‍රමබාහුගේ එක්වීමට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද යන්නය.
                            

මේ ප්‍රශ්නය පිළිතුර සොයා ගැනීමේදී අපට පෙනෙන්නට තිබෙන වැදගත්ම කාරනාව රනිල් සහ වික්‍රමබාහු දෙදෙනාම පක්ෂ වලිනුත් ප්‍රතිපත්ති වලිනුත් එකිනෙකාට විරුද්ධ කඳවුරු දෙකක සිටියත් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව මේ දෙදෙනාම එකම කඳවුරක සිටීම යන්නයි. දෙදෙනාම සිටින මේ විජාතික කඳවුරේ චින්තන ආකෘතිය බටහිර යුදෙවු නූතනවාදී චින්තනයයි. මේ චින්තන ආකෘතියට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධාන ජාලයක එකතුවක් මුළු ලොව පුරාවටම තම මතවාදී ආක්‍රමණය කලක සිට ක්‍රියාත්මක කරමින් ඇත. රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ලිබරල් ධනවාදයත් වික්‍රමබාහුගේ මාක්ස්වාදී සමාජවාදයත් යන දෙකම බටහිර යුදෙවු නූතනවාදී චින්තන ආකෘතිය තුලින් ව්‍යුත්පන්න වූ දේවල් වන බව මෙහිදී අප තේරුම් ගත යුතු සිද්ධියයි. මේ සියළු මතවාදී ධාරාවන් අර ජාත්‍යන්තර ආක්‍රමණික ජාලය විසින් යොදා ගනු ලබන්නේ ලොව සෑම ප්‍රදේශයකම සෑම රටකම හොඳින් ස්ථාපිත වූ ජාතිකත්වයන්ට එරෙහිවයි. ඒ විජාතික මතවාදී ආක්‍රමණිකයාට සිය ආක්‍රමණය කිරීමට ඇති ප්‍රධාන බාධාවන් වන්නේ ඒ ඒ රටවල ජාතිකත්වයන් හා රටවල් වලට විශේෂිත වූ චින්තන රටාවන් වන බැවින්. අපේ රටේදීත් මේකාරනයට අදාලව තත්වය එයම වේ. රනිල් සහ වික්‍රමබාහු දෙපලම එකිනෙකට වෙනස් කඳවුරු දෙකක සිට එකම චින්තන ආකෘතියක මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයට සේවය කරති. මොවුන් දෙදෙනාගේම දේශපාලන කඳවුරු වල පොදු හතුරා සිංහල බෞද්ධ ජාතිකත්වය හා චින්තන ආකෘතියයි. එය එසේ වන කල දෙදෙනාටම අවශ්‍ය මොහොතක තම පොදු හතුරාට එරෙහිව එක් කඳවුරකට පැමිණීම එතරම් අපහසු කාරනයක් නොවන වග අප තේරුම් ගත යුතු වැදගත්ම කාරනයයි.
                              

බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආදිපත්‍ය ප්‍රධාන සංකල්ප තුනක් සමග තුන්කොන් යාන්ත්‍රණයකට ක්‍රියාත්මක වන බව මින් පෙරත් අප කියා ඇත. සංවර්ධන නිර්නායන්, බටහිර නූතනත්වයේ ආටෝපය හා අත්තනෝමතික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු මේ තුන්කොන් යාන්ත්‍රණයේ බල කනු වේ. එමෙන්ම මේ ජාත්‍යන්තර මතවාදී ආක්‍රමණය අප මින් පෙරත් කියා ඇති පරිදි ප්‍රධාන සංරචක 4ක් ඔස්සේ ලොව සියළු ප්‍රදේශ වල මිනිස් ක්‍රියාකාරකම් බලහත්කාරයෙන් පෙලගැස්වීම හරහා නිරූපනය වෙයි. ඒ පුද්ගල ආත්මාර්ථකාමීත්වය හා විසංවිධානය, බෙදුම්වාදය හා ස්වයංපාලන උමතුව, කාන්තාවාදය හා සමලිංගිකත්වය, නිරාගමිකකරනය හා සදාචාර විරෝධය යන ඒවායි. මේ සිද්ධි ඒ ආකාරයෙන් රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය හරහා ක්‍රියාත්මක වේ. වික්‍රමබාහුගේ වාමාංශික මාක්ස්වාදී සමාජවාදය තුල නම් ඉහත පළමු සංරචකය පමණක් වෙනස් වන අතර ඒ වෙනුවට අනෙක් සියළු සංරචක බලගැන්වීමට මාක්ස්වාදීන් ඒකාබද්ධව හා සංවිධානාත්මකව ක්‍රියාකිරීම දැකිය හැක. තුන්කොන්යාන්ත්‍රණයේත් ලිබරල් සංකල්ප මාක්ස්වාදීන් ඒ අයුරින්ම නොගත්තත් ප්‍රජාතන්ත්‍රවාදීව අධික පරිභෝජනය තුල ධනපති පංතිය බුක්ති විඳින සැප සම්පත් අත්කරගැනීමට ඒකාබද්ධව සටන් කිරීම සඳහා මොවුන් නිර්ධන පංතිය පොළඹවති. මේ වෙනස්කම් පෙර කී තුන්කොන් යාන්ත්‍රණය හා එහි ක්‍රියාකාරකම් විහිදෙන ප්‍රධාන සංරචක සියල්ල එක්ක බලන කළ ඒ තරම් විශාල පරස්පරයන් නොවේ. ලොව විවිධ රටවල ජාතිකත්වයන් මතවාදීව දියාරු කරන බටහිර යුදෙවු නූතනවාදී චින්තන ආකෘතියට ක්‍රියාත්මක වන්නා වූ ලිබරල් ධනවාදීන්ටත් මාක්ස්වාදී සමාජවාදීන්ටත් අවශ්‍ය විටක පොදු හතුරාට එරෙහිව එක් කඳවුරකට පැමිණ ක්‍රියා කිරීමට ඇති බාදාවන්ට වඩා වැඩි පරාසයක පොදු එකඟතා තිබෙන බව දැන්වත්  අප තේරුම් ගන්නේනම්, වික්‍රමබාහූ රනිල් සමග එලිපිට රඟදැක්වූ නාටකය පමණක් නොව වමේ අනුර කුමාර රනිල් සමග හොරෙන් අල්ලපු අඩවුවත් පුදුමසහගත දේ නොවනු ඇත.

No comments:

Post a Comment