Monday, August 3, 2020

චන්දය, දේශපාලනය හා තැනට සුදුසු නුවණ

තවත් පර්ලිමෙන්තු මැතිවරණයක් අභිමුව අප සිටිමු. මීට පෙර ජනාධිපතිවරණය පැවැත්වුනි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයක් අත් කර ගත් අතරම මෙරට බහුතරයක් චන්ද දායකයා ගත් තීන්දුව නිවැරදි බව නව ජනාධිපති ගෝඨාභය මහතා දැනටමත් පෙන්වා දී ඇත. මේ චන්ද ප්‍රතිඵලය තුලින් ජාතික හා විජාතික බලවේග අතර ගැටුමෙන් ජාතික බලවේග වල ජයග්‍රහනයද නිරූපනය වේ. එය එසේ වූයේ විජාතික බලවේග විසින් මෙහෙයවූ පහුගිය රජයේ ක්‍රියාකාරකම් වලින් බැට කෑ මෙරට බහුතර ජනයාට ඉන් ගැලවීමට තිබූ දැඩි වුවමනාවයි. ඒ වෙනස කිරීමට බහුතරය ජාතිකත්වය දෙසට නැඹුරු වූවා පමණක් නොව අනෙක් සියළු ප්‍රශ්න පසෙක තබා ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වයක් දීමටද කටයුතු කළහ. දැන් පැමිණ ඇත්තේ ජාතිකත්වය දිනවීමේ දෙවන අදියරයි. ඒ සඳහා අප සූදානම් විය යුත්තේ කෙසේද? චන්දය භාවිතා කිරීමේදී සැලකිය යුතු නිර්නායන් හා ඒ එකිනෙකට දිය යුතු ප්‍රමුඛතා අනුපිළිවෙල කුමක්ද? අපේක්ෂකයන් තේරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල කුමක්ද? මේ කාරණා සැලකිල්ලට නොගෙන ඕනාවට එපාවට ක්‍රියා කිරීමට හැකියාවක් නැත. ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහනය තව දුරටත් ජාතිකත්වයේ ජයග්‍රහනයක් ලෙස තහවරු කිරීම මෙවර මහ මැතිවරණයේදි රටට හිතැති බහුතර ජනයාට පැවරෙන ප්‍රධානතම වගකීමයි.
                                 
 චන්දය භාවිතා කිරීමේදී සැලකිය යුතු මූලික නිර්නාය වන්නේ චන්දය දෙන දේශපාලන කණ්ඩායම රටේ ජාතිකත්වයට ලැදිද නැද්ද යන්නයි. මහා සංඝ රත්නය ප්‍රමුඛ ජාතික බලවේගවල ආශිර්වාදය ඇති පාර්ශවය වෙන් කර හඳුනාගැනීමට අපට හැකි විය යුතුයි. එය දැන් තිබෙන තත්වය අනුව අපහසු නොවේ. ජාතිකත්වයට ලැදි කණ්ඩායමෙන්ද රටට ගැලපෙන අදහස් ඇති ජාතික මතවාද අනුව කටයුතු කළ හැකි අපේක්ෂකයන් උපරිම ලෙස තෝරා ගත යුතුව ඇත. ඊට ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ රටට ආවේනික චින්තන ආකෘතිය තුල අපද සක්‍රීයව සිටිමින්. ආර්ථික හා සම්පත් පරිභෝජනයට අදාල කරුනු, පාරිසරික ප්‍රතිපත්ති මෙන්ම සමාජ  සංස්කෘතික කාරනා මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. ඇතැම් විට මේ නිර්නාය හා ප්‍රමුඛත්වයන් සැලකීමේදී ඊට 100%ක් අනුගත වන පිරිසක් සෙවීම අපහසු වුවත් වඩාත්ම ඊට අසමීප කණ්ඩායමට අපගේ සහය ලබා දිය යුතුව තිබේ. මේ වන විට සමස්ථ සිංහල බෞද්ධ ජන ගහනයෙන් 70%ක් පමණ පැහැදිලිව විජාතිකත්වයට එරෙහිව සන්ධානගතව සිටීම ඉතා යහපත් තත්වයක්. මේ තත්වය ඉදිරියටත් පවත්වා ගැනීම හා තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය දේයක් වේ.
                           
 රටේම මැතිවරණ සූදානම හා උනුසුම අස්සේ රටට ජාතිකත්වයට හතුරු විජාතික කඳවුරේ හැසිරීම කෙබඳුද?. මේ වන විටනම් විජාතික දේශපාලන කඳවුරේ ප්‍රධානම ධාරාව වන එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ඇත. විජාතික අරමුණු වෙනුවෙන් රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වැඩ පිළිවෙල සැලකිල්ලට ගත යුතු තරමට වැදගත් නැතත් විජාතික කඳවුරේ සිටින ඔවුන් ගැන සැලකිලිමත් විය යුතුය. රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයත්, සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයත් තරගෙට රටේ ආර්ථිකය හදන ආකාරයත් ජනතාවට සහන දෙන ආකාරයත් ගැන කියමින් නන් දොඩවනු දක්නට ලැබේ. අපට මොවුන්ගෙන් අසන්නට ඇති සරලම ප්‍රශ්නය වන්නේ ඔවුන් එක්ව ආන්ඩු කළ ඔවුන්ට බලය තිබුණු කාලයේ ජනතාවට සහන දීමට ඔය ආර්ථික දැනුම නොතිබුණේත් එකළ ජනයාට බලපෑ ආර්ථික ගැටළු විසඳන්නට නොහැකි උනේත් ඇයිද යන්නයි. එවන් ආර්ථික විඥ්ඥානයක් තිබුණේනම් මහ බැංකුවට බැඳුම්කර අලාභය සිදු නොවන්නට ඉඩ තිබුණු බව මන්දබුද්ධික නොවන කාටත් තේරුම් ගත හැකි බවද මොවුන්ට නොදැනෙයි. මේ විජාතික ගැති දේශපාලන තක්කඩින්ට නොදැනෙන අනෙක් කාරනය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල කල්ලි කප්පම් ගැනීම, කූඨ ව්‍යාපාරිකයින් හා අතරමැදි තැරැවුකාර වෙළඳාම ආදිය මහජනයාගේ ආර්ථික තත්වයට කරන බලපෑමයි. ඕන දේත් එපා දේත් සියල්ල පිටරටින් ආනයනය කිරීමට විවුර්ත කර දීම හා වැඩකට නැති දේශපාළුවන් රොතු පිටින් මහජන මුදලින් නඩත්තු කරන්නට සිදුවන ආකාරයට රටේ දේශපාලනික ආකෘතියම සකස් කර තිබෙන්නේත් කාගේ අනුග්‍රහයෙන්ද යන්නනම් මොවුන් කිසිවිට නොකියනු ඇත. මේ විජාතික ගැති අමනයන්ට හා ඔවුන්ගේ අනුගාමික සුළුතර ගොන් රැලට මතක් කර දිය යුත්තේ රට තුල නිෂ්පාදනය කර ගත හැකි රටට අවශ්‍ය සියල්ල එලෙස නිපදවා ගැනීම රටේ ආර්ථිකයේ අරටුව බවයි.
             
අප මින් පෙර අවස්ථා වල පෙන්වා දී ඇති පරිදි මෙරට විජාතික ගැති දේශපාලනයේ ගමන්මග හැසිරවෙන්නේත් බටහිර යුදෙවු නූතනවාදී චින්තන ආකෘතිය අනුව එහි ජාත්‍යන්තර නියමු ජාලය විසින්. සංවර්ධන ආකෘතියට යන කාබාසිනියා පරිභෝජනය, බටහිර නූතනත්වයේ බොරු ආටෝපය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී  අත්තනෝමතිකකම අනුව පැති කිහිපයකට ලෝකයේම මිනිස් ක්‍රියාකාරකම් බලෙන් පෙලගස්වන්නට මේ ජාලය නොයෙක් ජාත්‍යන්තර බලවේග මගින් ගෙනයන වැඩපිළිවෙල ලොව විවිධ රටවල මෙන්ම අපේ රටේදීත්  විජාතික දේශපාලන බලවේග තුලින් එලි බසියි. පුද්ගල ආත්මාර්ථකාමීත්වය හා විසංවිධානය, බෙදුම්වාදය හා ස්වයංපාලන උමතුව, කාන්තාවාදය හා සමලිංගිකත්වය, නිරාගමිකකරනය හා සදාචාර පද්ධති බිඳ වැට්ටීම යන පැති වලින් ක්‍රියාත්මක වැඩපිළිවෙලවල් සූක්ෂම ලෙස මේ විජාතික ගැති දේශපාලනය තුලින් අපට බලාගන්නට හැකි වනවා මිස ඔය කියන ආර්ථික වැඩපිළිවෙලවල් හෝ ජනතාවට මුදල් ලැබෙන කිසිදු කර්තව්‍යක් බලාපොරොත්තු විය නොහැක.  සිදුවන නිසැක දෙය නම් ජනතාවට තුට්ටු දෙකක් ලැබී මේ දේශපාළුවන්ගේ අතමීට සරුවන රැවටිල්ලද සිදුවන විට හොර රහසේ පෙර කී විජාතික වැඩ පිලිවෙලද නිරායාසයෙන් ඉදිරියට ඇදීමයි. රනිල්ගේ නායකත්වයෙන් පහුගිය එක්සත් ජාතික පක්ෂ රජය මේ ආකාරයට ක්‍රියා කළ අයුරු කාටත් අමතක වන්නට විදිහක් තිබිය නොහැක.
                      
පෙර කී නිර්නායන් හා ප්‍රමුඛතා අනුව අපේක්ෂකයන් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට යන විට සැලකීමට සිදුවන එක් විශේෂිත කාරනයක් තිබේ. ඒ මෙරට දේශපාලනය තුල තම පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට මුල් තැන දෙන දූෂිත දේශපාළුවන් පර්ලිමෙන්තුවට අරක්ගෙන සිටීම තුල පක්ෂ භේදයකින් තොරව බැලීමේදීත් සමස්ථයක් ලෙස දේශපාලනය අන්ත දූෂිත වීමයි. කෙසේ නමුත් මෙවර මැතිවරණයේදී මේ ක්‍රමයෙන් ගැලවීමේ අවශ්‍යතාවයත් ඉස්මතු වී ඇත. ඒ තුලින් අළුත් දේශපාලන චරිත මැතිසබයට යැවීමටත් අවස්ථාවක් ලැබේ. මෙහිදීත් ජාතිකත්වයට ලැදි අය තේරීමට අප උනන්දු විය යුතුයි. අති විශාල වශයෙන් විවිධ මට්ටමේ අයහපත් ක්‍රියා වලට සම්බන්ධ පැරණි දේශපාලකයින්ද සියළු පක්ෂ වල ලැයිස්තු තුල සිටින බැවින් අප තැනට සුදුසු නුවනින් කළ යුතු හොඳම කර්ය වන්නේ ජාතිකත්වයට වඩාත්ම ලැදි දේශපාලන කණ්ඩායමෙන් සාපේක්ෂව නරකින් අඩුම පුද්ගලයන් පිරිසක් තෝරා ගැනීමයි. එම කර්තව්‍යට යොමු විය යුත්තේ පවතින තත්වය තුල හොඳම දේශපාලකයන් තේරීම තරමක් අපහසු නිසයි. විජාතික බලවේග විසින් මෙහෙයවන කණ්ඩායම් වල චාටු බස් වලටද නොරැවටිය යුතුය. වර්තමාණයේ ආණ්ඩුවක් පිහිටුවීමට හැකි ජාතික බලවේග වලට හිතවත් දේශපාලන කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගෙන සන්ධානයයි. ඒ තුලින්ද පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා ජාතික අරමුණු වෙනුවෙන් වැඩ කළ හැකි දේශපාලකයින් වැඩිපුර තේරීමටනම්  කළයුතු හොඳම දේ පොදුජන පෙරමුණට දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ වලින් එක්ව සිටින අපේක්ෂකයන් තෝරාගෙන මනාප ලබා දීමයි. ඊට අවස්ථාව  අඩු තත්වයකදී ඉන්නා අයගෙන් සාපේක්ෂව නරකින්  අඩුම පිරිස තෝරා ගත යුතුයි. ජාතිකත්වයට ලැදි සියල්ලෝම තම චන්දය ප්‍රකාශ කිරීමද අනිවාර්යෙන් කළයුතුය. මේ ටික සිහි කල්පනාවෙන් හා තැනට සුදුසු නුවනින් කළහොත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධා අවම කරගනිමින් ජාතික අරමුණු මුල් කරගෙන ශක්තිමත්ව රට ඉදිරියට ගෙන යෑමට මහත් පිටුබලයක් ලැබෙනු නිසැකයි.

No comments:

Post a Comment