Friday, July 31, 2020

ලිංගිකත්වය විහිළුවට ගැනීම සහ අශීලාචාර ජනමාධ්‍ය කෙරුවාව

ලිංගිකත්වය විහිළුවටත් සෙල්ලමටත් ගන්නට පුරුදුව සිටි ව්‍යාජ පෙම්වතෙකුගේ රැවටිල්ලට හසු වී ඔහු සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීමෙන් පසුව හදිසියේ රෝගාතුරුව මියගිය පෙම්වතියක් ගැන කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ පසුගිය දිනක බලංගොඩ ප්‍රදේශයෙන්. මරණයට හේතුව අධික රුධිර වහනය බවත් අසන්නට ලැබුණි. කෙසේ වෙතත් ජනමාධ්‍ය වලින් මේ සිද්ධිය මුලින්ම අසන්නට ලැබුණේ ඇඳුමක් මසා ගැනීමට නගරයට ගිය 17 හැවිරිදි තරුණියක් කිසියම් පුද්ගලයෙකු විසින් ලිංගික අපයෝජනයකට ලක්කිරීමෙන් අනතුරුව ඇය හදිසි මරනයකට පත් වී තිබුණු බවක්. මේ ප්‍රවුර්තිය මාධ්‍යවලින් මෙලෙස පළ කර තිබුණේ අදාල පුද්ගලයා අර තරුණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවරයකට ලක්කර මරණයට පත් වීමට ඉඩ හැර ඇති බව ඒත්තු ගැන්වෙන අයුරින්. සිද්ධිය පිළිබඳ පොලීසිය විසින් පවත්වන ලද වැඩි දුර විමර්ශණ පිළිබඳ කරුණු හෙලිදරවු වන විට ජනමාධ්‍ය වලින් මුලින් කී පුවත අනුව කෙනෙකුට ඒත්තු ගිය සිද්ධිය එසේ නොවන බව ටිකෙන් ටික පැහැදිලි විය. ඒ අනුව පෙර කී තරුණිය අදාල පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, මේ පුද්ගලයා එම තරුණියට සිය නිවස පෙන්වීමට අවශ්‍ය බව පවසා රවටාගෙන ගොස් රැවටිලිකාර ලෙසම ලිංගික සබඳතාවයද පවත්වා ඇති බව අනාවරණය වී ඇත. එසේම සිද්ධියට අදාල ව්‍යාජ පෙම්වතා මින් පෙරත් මෙලෙසම මේ කටයුත්ත තවත් තරුණියන්ට කර තිබෙන බවත් දැනගන්නට ලැබී තිබේ.
                                අදාල සිදුවීම සම්බන්ධ සිද්ධිමය කරුණු එසේ වෙද්දී මේ සම්බන්ධයෙන් මතවාදී පදනමක පිහිටා කෙරිය යුතුම විචාරයක් තිබේ. එම කටයුත්තට මුල පිරීමේදී මුලින්ම ප්‍රශ්නයට නැගිය යුත්තක් ඇත, ඒ තම දරුවන් බාහිර සමජයට විවුර්ත වීමේදී ඔවුන් කරන කියන දේ ගැන දෙමවුපියන් හා වැඩිහිටියන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත්ද යන්නයි. විශේෂයෙන්ම ගැහැනු දරුවන් සිටින දෙමවුපියන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය නැගිය යුතුම වන්නකි. ලිංගිකව පරිනත වයස් කාණ්ඩ වල පසුවන ගැහැනු පිරිමි දෙපාර්ශවයේම ජීවිත වල තම ලිංගික අවශ්‍යතාවයන් හා බැඳුනු රුචි අරුචිකම් හා සමාජ ක්‍රියාකාරකම් ප්‍රධාන වේ. දරුවන් ලිංගිකව පරිනත වන වයසට පත්වන විට චර්යා රටාවන් වෙනස් වන්නේ ළමා විය පසු කරමින් මේ අවධියටයි. එසේ වන්නේ ලෝ ස්වභාවයටද අනුකූලවය. ළමා කාලය පසු කරමින් පරිනත යොවුන් වියට පැමිණෙන කාගේත් ජීවිතයේ මීලඟ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන්නේ සුදුසු සහකරුවන් සහකාරියන් සොයා ගනිමින් විවාහයට එළඹ පිළිගත් ලිංගික ජීවන රටාවකට අනුගත වීමයි.  පෙර මෙන්ම අදත් තරුණ දූ පුතුන් ඇති මවුපියන් බහුතරයක්ම නොවුවත් සැලකිය යුතු වැඩි පිරිසක්  ඔවුන්ගේ විවාහ කටයුතු සිදු කිරීම තමන්ගේ ප්‍රභලතම වගකීමක් ලෙස සලකති.
                                 විචාරයට බඳුන් විය යුතුම කටසට දැන් පිවිසෙමු. සුදුසු වයසේදී පිළිගත් ලිංගික ජීවන රටාවකට අනුගතව විවාහ ජීවිත වලට එළඹීම, පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයට මෙන්ම මවුපියන්ට විශේෂ වන සමාජ වගකීම් ඉටු කිරීම යන කාරනා වර්තමානයේ ඒ ආකාරයට සිදු වේද? වර්තමාන සමාජ ව්‍යාකූලත්වයන් අනුව පෙර කී දේවල් කිසිවක් ඒ අයුරින්ම  හැම විට සිදු නොවීම ඉතා පැහැදිලියි. එයටද හේතුවක් ඇත, ඒ කලක් තිස්සේ මේ රටම පුහු පණ්ඩිත අනුකාරකයන්ගේද අනුග්‍රහයෙන් බටහිර නූතනත්වයේ ආටෝපය පසුපස පිස්සුවෙන් දිව යෑමයි. බටහිර නූතනත්වයේ බොරු ආටෝපය තවරාගෙන, නොහික්මුනු පුද්ගල ආත්මාර්ථකාමීත්වය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාධාරන ලෙස සලකමින්, සංවර්ධන ආකෘතියට රටම ගමන් කර ඇත්තේ මෝඩ දේශපාලනයද රුකුල් කර ගනිමින්. එහි ප්‍රතිඵල ලෙස රටට නුහුරු ආර්ථික හා පාරිසරික ගැටළු පමණක් නොව සමාජමය කොඩිවිනයක් ලෙස අපගේ මාතෘකාවට අදාල කාරනාවද කල එළි බැස ඇත. ඒ බටහිර මෙන්ම අපේ රට තුලත් ආත්මාර්ථකාමී සල්ලාල පිරිමි කොටසක් හා තමන්ගේ තරමත් ජීවත්වන සැබෑ වටපිටාවත් ගැන හරි අවබෝධයක් නැති මෝඩ ගෑනු කොටසකුත් බිහි වීමයි. ආතක් පාතක් නැති සල්ලාල ව්‍යාජ ප්‍රේමවන්තයින් හා ඔවුන්ට රැවටී නොසැලකිලිමත් අනාරක්ෂිත ලිංගික සබඳතා වලට යොමු වන පෙම්වතියන් ගැන කතා කිරීමට සිදුවන්නේ ඒ කරුන  මත වේ.
                                 
 ලිංගිකත්වය වටා බැඳුනු විවිධ දෑ ඉස්මතු කිරීම ජනප්‍රියත්වය කරා යෑමේ අරුම පුදුම මෙවලමක් කරගත් ජනමාධ්‍ය ආයතන වලට වර්තමානයේ මේ සමාජ ව්‍යාකූලත්වයන් හරහා එන ලිංගිකත්වය ආශ්‍රිත සමාජ ගැටළු ප්‍රධාන ප්‍රවෘති වීම අරුමයක් නොවේ. බොහෝ ජනමාධ්‍ය වලට ලිංගික අතවර පිළිබඳ පුවත් ධන නිධානයන් මෙනි. ගැටළුකාරීම දෙය නම් මේ ජනමාධ්‍ය ලිංගික අතවර සම්බන්ධ පුවත් රටේ මහජනතාව අතරට ගෙනයන්නේ බොහෝ අශීලාචාර ආකාරයකට මෙන්ම අන්ත අවිචාරවත්ව වීමයි. අපේ මාතෘකාවට අදාල සිද්ධියේ ව්‍යාජ පෙම්වතාගේ රංගනයට රැවටී ඔහුගේ නිවස බැලීමට ගොස් ඔවුන් අතර ඇති වූ ලිංගික ඇසුරකින් පසුව අධික රුධිර වහනය නිසා අවාසනාවන්ත ලෙස මියගිය 17 හැවිරිදි පෙම්වතිය ගැන විස්තරය, අර පුද්ගලයා ආදාල තරුණිය නගරයට ගොස් පැමිණෙන අතර බලහත්කාරයෙන් රැගෙන ගොස් සාපරාධී ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර මියයන්නට සලස්වා තිබූ බව ඇඟවෙන ලෙස ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ පෙර කී කරුණු වලට අනුවයි.
අප අවධානය යොමු කළ යුතුම තවත් දෙයක් වන්නේ, මෙවැනි සිද්ධි  අපේ සමාජය සූක්ෂම ලෙස ලිංගික ව්‍යාකූලත්වයකට ගෙන යෑමට  සැදී පැහැදී සිටින බටහිර කාන්තාවාදී NGO කල්ලි වලට පහසුවෙන් අවභාවිතා කිරිමට තිබෙන හැකියාව හා ලැබෙන ඉඩකඩයි. කාන්තාවන්ට වන ලිංගික අතවර ගැන ව්‍යාජ තොරතුරු සහිත බොරු සමීක්ෂණ කිරීමට මේ NGO කල්ලි ඉතා දක්ෂය. වයස අවුරුදු 90ක පමණ මහළු ස්ත්‍රියක් වයස්ගත වීම හේතුවෙන් මිය යන සිදුවීමකදී වුවත් කවරෙකු හෝ ඇයට මිය යෑමට පෙර ලිංගික අතවරයක් කර ඇතැයි කීමට පුළුවන්කමක් ලැබෙන්නේනම් මේ NGO කාන්තා සංවිධාන වලට හා අශීලාචාර ජනමාධ්‍ය වලට එය මහත් ආශ්වාදජනක වනු ඇත. ඒ එම පිරිස් වල මානසිකත්වය වෙයි. කාන්තාවන් හා ගැහැනු දරුවන් හදිසියේ අතුරුදහන්ව අභිරහස් ලෙස මරණයට පත්වන සිද්ධි වලදීත් ඒ අය මරණයට පත් වීමට පෙර යම් විදිහකින් ලිංගික අතවරයකට ලක්ව තිබුණේනම් මේ දෙපිරිසට රජ මගුල්ය. ඇත්තෙන්ම එවැනි අවාසනාවන්ත සිදුවීම සමාජයෙන් තුරන් වනු දැකීමට මේ පිරිස් කැමැත්තක් දක්වන්නේද නැත. ඇත්ත තත්වය එයයි. 
                            
අශීලාචාර ජනමාධ්‍ය වල නොමග යවන සුළු තොරතුරු අසාගෙන අවිචාරයෙන් ගිනිකන වැටීමත්, NGO සමීක්ෂණ වල ව්‍යාජ වාර්තා ගැන තිබෙන අන්ධ විශ්වාසයත් පසෙක තබා, අප යමක් සිදිධියක් ලෙස තේරුම් ගැනීම පමණක් නොකර ඉන් ඔබ්බට ගොස් මේ සියල්ල මතවාදීව තේරුම් ගැනීමද කළ යුතුයි. ලිංගිකත්වය පිළිබඳ අපේ මතවාද මොනවාද? එමෙන්ම අපේ රටේ පිළිගත් ලිංගික ජීවන රටාව කෙබඳුද? මේ කරුණු වලට සාපේක්ෂව අප පෙර කී දෑ සංසන්දනාත්මකව දැකිය යුතුය. පොදුවේ ගත් කළ අප සමාජයේ පුද්ගලයන් ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සියළු ආකාරයේ විශේෂිත හැඩගැසීම්, ලිංගික ගැලපීම්, විෂම ලිංගික දිශානතිය හා ප්‍රජනන ක්‍රියාවලිය ප්‍රමුඛත්වයේ ලා සැලකේ. විවාහය හා පවුල තුලින් පිළිගත් ලිංගික ජීවන රටාව නිරූපනය වෙයි. අපේ පිළිගත් ලිංගික ජීවන රටාව තුල පිරිමි ගැහැනු දෙපාර්ශවයම නිසි කලට විවාහ වීම වැදගත්ම දෙයක් ලෙස සැලකේ. පවුලක පිරිමි දරුවන් පියාට අනුවත් ගැහැනු දරුවන් මවට අනුවත් ලිංගිකත්වය අනුව විශේෂිත ලෙස හැඩගැස්වීම, විෂම ලිංගික දිශානතිය හා ලිංගික ගැලපීම් ප්‍රමුඛත්වයේ ලා සැලකීම තුල අනෙකුත් ක්‍රියාකාරකම් පෙල ගැසෙන්නේ ඊට අනුකූල පරිදි මිස අනෙක් සියළු ක්‍රියාකාරකම් අනුව ලිංගිකත්වය ව්‍යාකූලත්වයට ලක් කිරීම අපේ ක්‍රමයක් නොවන නිසා. ඒ තුල ලිංගිකත්වයේ ස්වභාවය හා ඊට අදාල මිනිස් ස්වභාවයන් කලමනාකරනය වීම ඉතා හොඳින් සිදු වනවා පමණක් නොව ලිංගික කාරනා පිළිබඳව මනා අවබෝධයක් හා නිරවුල් බවක්ද ඇති වේ. පිළිගත් ලිංගික ජීවන රටාවකට අනුගත වෙමින් නිසි කලට විවාහ වීම තුල ලිංගිකත්වය හා බැඳුනු ව්‍යාකූලත්වයෙන් පිරි සමාජ ගැටළුද ඇති නොවේ. මේ කරුණු අදටත් වලංගු වනවා පමණක් නොව ලෝක ස්වභාවය සමගද එකඟය. ඒ දේවල් වඩා සක්‍රීය වීමටනම් අපේ චින්තන ආකෘතියට අනුව අපේ ක්‍රියාකාරකම් පද්ධතිය සකස් විය යුතුය. ඊට පරිසර කලමනාකරනය, සම්පත් පරිභෝජනය ආර්ථික කරුනු ආදියද ඇතුලත් වේ. එසේ වන විට ආතක් පාතක් නැති පිරිමි කොට්ඨාශයක් බිහි වී බොළඳ පෙම්වතියන් රවටාගෙන ලිංගිකත්වයත් විහිළුවට හා සෙල්ලමට ගන්නා ව්‍යාජ පෙම්වතුන් බිහි වීමද සිදු නොවනු ඇත.
            
තොරතුරු විමසන ජනයා යමක් ගැන වැරදි නිගමන වලට එළඹෙන ලෙස නොමග යවනසුළු ආකාරයෙන් ලිංගික දුරාචාරයන් සම්බන්ධ පුවත් ඉදිරිපත් කරන අශීලාචාර ජනමාධ්‍ය ඉන් උද්ධාමයට පත්ව තම මාධ්‍ය වල ජනප්‍රියත්වය අපේක්ෂා කළත් ඉන් නියම ප්‍රයෝජනය ලබන්නේ බටහිර කාන්තාවාදය අනුගමනය කරන NGO කල්ලි වේ. ඇතැම් අශීලාචාර මාධ්‍ය පැහැදිලිවම බටහිර කාන්තාවාදයට පක්ෂව ක්‍රියා කරයි. මේ සියළු බලවේග වල අවසන් ඉලක්කය විෂමලිංගික වැඩිහිටි පුරුෂයා කෙරෙහි ලිංගික ද්වේශසහගත බව අනියම් ආකාරයට වර්ධනය කිරීමයි. කුහකයන් බොහොමයක් එය වීරකමක් ලෙස සලකන්නට පුරුදුව ඇත. මේ සියළු සිද්ධි අස්සේ සිදුවන භයානකම කටයුත්ත වන්නේ බටහිර කාන්තාවාදය මත පිහිටා සමස්ථ පුරුෂ සමාජය කෙරෙහිම ද්වේශසහගත නීති රීති බටහිර රටවල ආකාරයට මෙහි ස්ථාපිත කිරීමට NGO කල්ලි විසින් මෙරට බලධාරීන්ට නිර්දේශ කිරීම හා ඒ සඳහා බලපෑම් කිරීමයි. කුහකත්වයෙන් අන්ධ නොවී විචාරශීලීව මේ බටහිර මතවාදී ආක්‍රමණයෙන් ගැලවිය යුතුය. ඒ සඳහා ලිංගිකත්වය සම්බන්ධ කාරනා වලදී අපේ මතවාද මත පිහිටා ගැටළු නිරාකරනය කර ගැනීම අනිවාර්ය වේ. බටහිර කාන්තාවාදය කරපින්නාගෙන එන මතවාදී ආක්‍රමණිකයා කාන්තාවන් හා ගැහැනු ළමුන් සම්බන්ධ ලිංගික අපචාර වැලැක්වීමට නිර්දේශ කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව ස්ථාපනය වන ස්ත්‍රී පුරුෂ ලිංගික විශේෂණයන් හා ගැලපීම් වලට බාධක ඇති කර සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමය. ලිපියට අදාල සිද්ධිය ගැන NGO කල්ලි සද්ද නැතත් සමහර විට ලබන වසරේ කාන්තා දිනයට ප්‍රශ්නය අතට ගෙන වෙනත් පිම්මක් පනින්නට උත්සහ කරන්නට ඉඩ තිබේ. ලිංගිකත්වය සම්බන්ධ අපේ මතවාද මත පිහිටා කටයුතු කර අපේ නිවැරදි වටිනාකම් සමගින් පිළිගත් ලිංගික ජීවන රටාව ශක්තිමත් කිරීම තුල ලිංගික අපචාර වැලැක්වීම පමණක් නොව බටහිර මතවාදී ත්‍රස්තවාදයද පැරදවිය හැක. අපට ආවේනික චින්තන ආකෘතිය අනුව අපේ ක්‍රියාකාරකම් පද්ධතියම සකස් කර ගත හැකිනම් ලිංගික අපචාර යන වචනයෙන්ද ගැලවිය හැක. එපමණක් නොව අපට නොගැලපෙන ක්‍රියාකාරකම් හරහා රටට බරක් වන ආර්ථික පරිභෝජන හා පාරිසරික ගැටළුද නිරාකරනය වීම නිසැකය.