Tuesday, March 31, 2020

කොරෝනා අභියෝගය ජයගන්නා ගමන් අපේ චින්තනයද බලගන්වමු

 
කොරෝනා වෛරසය ලෝකයටම බැට දෙන්නේ මර බිය ඇති කරවමින් පමණක් නොවෙයි, තවත් පාඩම් ගනනාවක් කියා දෙමින්. මේ වසංගතය දැන් තදින්ම බැට දී තිබෙන්නේ බටහිර ලෝකයටයි. වසංගතය මුලින්ම කල එලි බැස්ස චීනය දැන් සාර්ථකව රෝගය මැඩ පවත්වා පාලනය කරගෙන තිබේ. ජපානය හා කොරියාව ඇතුළු ආසියාතික රටවල්ද මේ උවදුරට සාර්ථකව මුහුණ දෙයි. රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම මාරාන්තික වසංගතයට මුහුණ දෙන ආකාරය සෞඛ්‍ය විදි විධාන ඉතා ඉහල මට්ටමක තිබෙයි. මේ සියල්ල ඒ අයුරින් සිදු වෙද්දී ලෝකයේ දියුණු හා සංවර්ධිත යැයි කියන බටහිර රටවල් බොහොමයක් කොරෝනාවෙන් බැට කන්නේ ලංකාව වැනි ආසියාතික රටවලට අන්ත ලෙසය. ඉතාලියේ තත්වය ඉතා බරපතල මෙන්ම අතිශය කනගාටුදායකයි.
                         ලෝකය පුරාවට මේ මාරාන්තික කොරෝනා වසංගත තත්වය තර්ජනයක් වෙද්දී එම වසංගත තත්වය පාලනය කිරීම හා රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධයක් කැපී පෙනෙයි. ඒ අන් කිසිවක් නොව සාමූහිකත්වය හා ඒකාබද්ධතාවයයි. වසංගත තත්වය පාලනය කිරීමේදී ප්‍රධාන කර්තව්‍යක් වී තිබෙන්නේ සාමූහික වගකීම් ඉටු කිරීම හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීමයි. එකිනෙකා තම පෞද්ගලිකත්වය හා පුද්ගල නිදහසට වැඩි වැදගත් කමක් දී මෙවැනි අභියෝග ජයගත නොහැක. බටහිර රටවලට මේ වසංගත අභියෝගයට මුහුණ දීමට අපහසු වී තිබෙන්නේ මේ ගුණාංග වල අඩුවැඩිය අනුවයි. වර්තමාන බටහිර ලෝකයේ සෑම රටකම වාගේ ජන සමාජය සැලකූ විට සාමූහිකත්වය, ඒකාබද්ධතාවය ආදී ගුණාංග වලට වඩා පෞද්ගලිකත්වය හා පුද්ගල නිදහස වැදගත් කොට සැලකීම කැපී පෙනෙයි. මේ බොහොමයක් රටවල් දේශපාලනිකව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගුරු කොට සැලකීම හා පුද්ගල නිදහස මත පදනම් වන මානව හිමිකම් ඉස් මුදුනින් ගැනීම කැපී පෙනෙයි. ආසියාතික රටවල් වල ජනයා සාමූහික වගකීම් වලට මුල් තැනක් දී කටයුතු කරද්දී එයට සම්ප්‍රදායික කම කියමින් බටහිර නූතනත්වයේ ආටෝපය ලොවට ප්‍රදර්ශනය කිරීමත් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන ලෝකයට උපදෙස් දීමත් අද කොරෝනාවෙන් බැට කන බොහෝ බටහිර රටවල බල්ධාරීන් පුරුද්දක් කොට ගෙන තිබුණි. මෙතරම් ව්‍යසනයක අනතුර පෙනි පෙනී මේ වසංගත තත්වය මුල්ම අවධියේදී එතරම් සැලකිල්ලක් නොදැක්වීම හා විහිළුවකට ගැනීම හරහා විනාශය උග්‍ර අතට හැරීමට බටහිර ලෝකයේ මේ සමාජ දේශපාලනික තත්වයත් හේතු වූවාට සැක නැත. අපේ රට තවමත් බටහිර නූතනත්වයේ ආටෝපය හා බටහිර මතවාද හරහා සමාජමය වශයෙන් එතරම් දුර්වල වී නොමැති වීම හා අපට ආවේනික සාමූහිකත්වයත් ඒකාබද්ධතාවයත් නොනැසී පැවතීම අද අපට ආශිර්වාදයක් වී තිබේ. ඒ මෙම වසංගත තත්වය මැඩපැවැත්වීමේදී සාමූහික වගකීමක් ඇතිව කටයුතු කිරීමට මෙරට අති විශාල බහුතරයට හැකියාව තිබීම තුලයි.
                                                                            සමස්ථයක් ලෙස අපේ රට රටක් ලෙස මේ ව්‍යසනය හමුවේ ඊට මුහුණ දෙන ආකාරය සතුටුදායකය. අපගේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් ගෙන යන වැඩ පිළිවෙල හා ක්‍රියාකලාපය ඉතා ප්‍රශංසනීයයි. ලෝකයේ දියුණු යැයි කියාගන්නා බටහිර රටවලට වඩා අපේ රට මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙන බව දැන් පැහැදිලියි. බටහිරට ආවඩමින් අපේ රට හැම අතින්ම නොදියුණු මට්ටමක තිබෙන බවට අනුකාරක පුහු උගතුන් ගොඩනගා තිබෙන මතයෙන් ඔබ්බට හිතන්නට ශක්තියක් අප අතරින්ම ගොඩනගා ගැනීමත් වැදගත්. මේ වසංගත තත්වයට මුහුණදීමේ සාර්ථකත්වයට පහුගිය ජනාධිපතිවරණයත් සමග දේශපාලනයේ සිදු වූ වෙනසත් අනිවාර්ය ලෙස වැදගත් වූ බව රහසක් නොවේ. ජනාධිපතිවරයාගේ කැප වීම හා එතුමා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මෙහෙයවන ආකාරයත් නිසි කලට නිවැරදි තීන්දු ගැනීමත් අති විශිෂ්ඨයි. කෙසේ වෙතත් මේ සියළු වැඩසටහන් අතර ඊට ශක්තියක් සපයන තවත් වැදගත් දේ ගැනත් අප සිතිය යුතුයි. මේ අභියෝගය ජයගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රටට ආවේනික ලෙස සිතන පතන වියත් බුද්ධිමතුන්ගේ අදහස්ද ලබා ගැනීම අතිශය වැදගත්. දැනටත් අපේ සාමූහිකත්වය ඒකාබද්ධතාවය හරහා සාමූහික වගකීම් ඉටුකරමින් රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන රජයේ වැඩපිළිවෙලට බහුතර ජනයා උනන්දුවකින් තම සහය ලබා දීම සැබවින් යහපත්. නමුත් ඉතා සුළුතරයක් නොසැලකිලිමත් බවත් කිව යුතුයි. ඉතාලිය, ස්පාඥ්ඥය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි කොරෝනා උවදුර දරුණු අතට හැරී ඇති යුරෝපීය රටවලත් මුල් අවස්ථාවේ රෝගීන් වාර්ථා වී ඇත්තේ අපේ රටේ ආකාරයට මෙන්ම ඇතැම් විට ඊටත් අඩු මට්ටමකින් බවත් අප සිහිතබා ගත යුතුය.  අප අපේ පාරම්පරික සිංහල වෙදකමේ දැනුමෙන්ද නිසි ප්‍රයෝජනය ගත යුතුයි. විශේෂයෙන්  මේ වෛරස් වසංගතය හමුවේ සිරුරේ ප්‍රතිශක්තිකර්ණය වැඩි කරන ක්‍රම සිංහල වෙදකමට අනුවද සොයා බලා නිසි ප්‍රයෝජනය ගත යුතුයි. ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන් ඔබ්බට ඇති දේ ගැන සිතා ගැනීමට නොහැකි අනුකාරක විද්‍යාත්මක උගතුන් කුමක් කීවත් පිරිත් කීම හා පිරිතේ ආශිර්වාදය ලබා ගැනීම ජාතියක් ලෙස අපටත් සියළු ශ්‍රී ලාංකික ජනයාටත් සෙතක් සලසන බව මිත්‍යාවක් නොවන බවද අප වටහා ගත යුතුයි. මේ සියල්ලට ජාතියක් ලෙස අප එකතු කරන චින්තනයද බලගැන්වීම වැදගත්.
                                 යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ලියවී ඇති ලෝක ඉතිහාසය දෙස බැලුවද, බටහිර ලෝකයේ සිදු වූ වෙනස්කම් විප්ලව ආදිය හැම විට ලෝකයට යහපත උදා කර නොමැති බවත් විනාශකාරී ක්‍රියාකාරකම් පද්ධතියක් ලෝකය පුරා සංවර්ධනය යන සංකල්පය හරහා සියළු රටවලට ආදේශ වී තිබීමත්  ගැන අප නැවත කල්පනා කර බැලිය යුතුය. මේ වසංගත තත්වය තුල පරිසරය වනසන මිනිස් ක්‍රියාකාරකම් අවම වීම තුලින් ලොව වායු දූෂණය ඇතුළු පරිසර දූෂණය අවමයකට පැමිණ ඇති බවටද තොරතුරු අනාවර්ණය වී ඇත. එයින් පෙන්නුම් කරන්නේ මෙතුවක් කල් අධික පරිභෝජනය මත පදනම් වන ප්‍රමිතියක් නැති මිනිස් ක්‍රියාකාරකම් ලෝකයටත් සොබාදහමටත් කොපමණ වදයක් දී ඇතිද යන්නයි. බටහිර මතවාදී ආක්‍රමණයට හසු වී බැට කන අපට බටහිර ලෝකය අද කොරෝනා වසංගතයෙන් බැට කන ආකාරය දෙස බලා හෝ මේ මතවාදී ආක්‍රමණයෙන් ගැලවීමේ උනන්දුවද ඇති වන්නේනම් එය ඉතා යහපත්. රටක් ජාතියක් ලෙස අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන අතරතුරම අනාගතයේ අපට ආවේනික චින්තන ආකෘතියකට අනුව අපේ ක්‍රියාකාරකම් පද්ධතියක් රටට හිතකර අයුරින් ගොඩනගා ගැනීමටද අප අධිෂ්ඨාන කරගත යුතුය. ඊට අවශ්‍ය පදනම දැන් සකස් වෙමින් පවතින බව ත් ඉතා පැහැදිලියි.

No comments:

Post a Comment