Monday, June 29, 2015

රණවිරුවෙකු මිනීමරුවෙක් වීම පසුපස ඇති තේරුම්ගතයුතු සත්‍ය

මේ වන විට සිදුවෙමින් පවතින යහපාලන අකටයුතුකම් වල අළුත්ම සිද්ධිය වෙලා තියෙන්නේ කොටි ත්‍රස්තවාදය පැරදවීමේ සටනේදී විශාල කාර්ය භාරයක් ඉටු කළ යුධ හමුදාවේ දිගු දුර විහිදුම් බලකා රනවිරුවෙකු මිනීමැරුම් චෝදනාවකට වරදකරු කරමින් මරණ දඬුවම නියමකිරීමයි. මෙලෙස මරණ දඬුවමට ලක්ව සිටින රණවිරුවා නමින් සුනිල් රත්නායකය. ඔහු යුධ හමුදා සේවයේද අති විශිෂ්ඨ දස්කම් දැක්වූවෙකි. යුධ හමුදාවේ දිගු දුර විහිදුම් බලකායට ඔහු තෝරාගෙන තිබෙන්නේද ඒ දස්කම් සැලකිල්ලට ගෙනයි. දිගු දුර විහිදුම් බලකාය ලෙස හඳුන්වන්නේ යුධ හමුදාවේ අති විශිෂ්ඨතම දස්කම් දක්වන පිරිසක් තෝරාගෙන එවකට හමුදාවේ පාලනයට නතුව නොතිබූ කොටි ත්‍රස්ත බලය උපරිම ලෙස පැවති ප්‍රදේශ වලට රහසිගතව ඇතුල් වී රහසේම ප්‍රහාරය දියත් කර කොටි සැලසුම් බිඳ දැමීමට ස්ථාපිත් කළ ඒකකයයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට එම හමුදා ඒකකය විශාල දායකත්වයක් ලබා දී තිබුණි. හමුදාව සමග මුහුනට මුහුනලා සටන් කළ කොටි සංවිධානයේ නායකයන් දැඩි බියක් දැක්වූයේ මේ දිගු දුර විහිදුම් බලකායටයි.
                       අපගේ කතාවට මුල් වූ රණවිරුවාට මරණ දඬුවම නියම වීමට හේතු වී ඇත්තේ කොටි ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක වූ අවධියේ උතුරේ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීමයි. මේ සිද්ධිය දෙස උඩින් පල්ලෙන් කරුණු නොකියා මතවාදී විචාරයක් කළ යුතුමය. පළමුවෙන්ම අප කියන්නේ කොටි ත්‍රස්තයන් හා උතුරේ සිවිල් වැසියන් වෙන් කරගත් ආකාරයේ පටලැවිල්ල ගැනයි. කොටි ත්‍රස්තවාදය ඉබේ හටගත් දෙයක් නොවේ. ඊට පසුබිම් වී තිබෙන්නේ ඉංග්‍රීසින්ගේ වරප්‍රසාධ ලත් උතුරේ දෙමළ නායකයන් පිරිස හා ඔවුන්ගේ අනුගාමිකයින් රටට නිදහස ලැබී සිංහල ජාතික නායකයින් රටේ රාජ්‍යත්වයට නැවත හිමිකම් කීම තුල සිය වරප්‍රසාධ අත්හැර මේ රට බිහිකළ සිංහලයන්ගේ ජාතිකතවය සමග එක්වී කටයුතු කිරීමට දැක්වූ අකමැත්තයි. දෙමළ නිජභූමි මිත්‍යාව ගොඩනැගුනේද බෙදුම්වාදී සටන ඉදිරියට ගියේද මුළු රටම බැරිනම් කොටසක් හෝ තම පාලනයට නතු කරගැනීමට අධිරාජ්‍යවාදීන්ගේ වරප්‍රසාධ ලැබූ දෙමළ සේවකයා ක්‍රියා කරන්නට වූ නිසයි. ඊට අපමණ සහයෝගයක් ඔවුන්ගේ ස්වාමිවරුන් වූ ඉංග්‍රීසින්ගෙන්ද ලැබුණි.
                                       

පත් වූ සියළු දෙනා මේ ත්‍රස්තවාදය හමුවේ පසුබසිද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජාතිකත්වය පන ලබමින් කොටි ත්‍රස්තවාදය රටෙන් මුලිනුපුටා දැමිණි. ඊට දායක වූ සියළු ආරක්ෂක අංශ අතර දිගු දුර මෙහෙයුම් බලකාය නොහොත් මහසොහොන්  බලකාය විශේෂතම කාර්යභාරයක් සිදු කළේය. එහිදී ඔවුන් කොටි ත්‍රස්තවාද්යේ කොඳු නාරටිය බිඳ දැම්මේ කිසිදු බියක් නැතිව ත්‍රස්ත බල සීමාවල් ඇතුලටම ගොස් කොටි මහ මොළකරුවන් ඇතුළු ප්‍රභල සාමාජිකයින් රහසිගත්වම ඝාතනය කිරීමෙනි. මෙහිදී ඔවුන් සිවිල් ඇඳුමෙන් සිටියාද ත්‍රස්ත නිල ඇඳුමෙන් සිටියාද යන්න සොයා බලා වැඩක් නැත. ඇරත් උතුරේ කොටි ත්‍රස්තවාදය බලවත්ව පැවති සමයේ සිට මේ දක්වාම සිවිල් වැසියන්ගෙන් බහුතරයක්ම දෙමළ ඊලාම්වාදය කරපින්නාගත්තවුන් වූහ. ඔවුන්ගෙන් බොහොමයක් සටන් පැවති සමයේ කොටි සාමාජිකයින්ගෙන් අවි පුහුණුවද ලැබූවෝය. නැත්නම් උතුරේ වැසියන්ගෙන් බහුතරයක් ඊලම වෙනුවෙන් පෙනීහිටින නායකයන් චන්දයෙන් පත් කරගන්නේත් ඔවුන්ට අනුග්‍රහය දක්වන සිංහල දේශපාලකයින්ට ජනාධිපතිවරණ වලදී චන්දය දෙන්නේත් නැත. මෙවැනි වාතාවරණයක් යටතේ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ සටන වෙනුවෙන් මහසොහොන් බලකායේ සාමාජිකයෙකු සිවිල් වැසියන්ම ඝාතනය කළ බව කීමට හදිස්සි වෙන්න උවමනා නැත. එකළ සිවිල් පිට සිටි කොටින් කොපමණ ජන ඝාතන කර ඇත්ද. බස් වලටත් පොදු ජනයා ගැවසෙන ප්‍රදේශ වලටත් බෝම්බ තැබූ කොටින් ඒ සඳහා පැමිණියේ කොටි ත්‍රස්ත නිල ඇඳුමෙන්ද? ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම උත්සන්නව තිබූ මොහොතක විජාතික බලවේග වල ආශිර්වාදය යටතේ ජාතිකත්වයට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් කළ කොටින්ගේ බල ප්‍රදේශයන්ට ඇතුල් වී සිවිල් පිට හිඳිමින් කොටි සැලසුම් මෙහෙයවූව ඝාතනය කළ රණවිරුවා ජාතික බලවේග පැත්තෙන් බලන කළ අපට සැබෑ විරුවෙකි.  
                         

  නිදහසින් පසු උතුරේ දෙමළ ජනයාගෙන් රටේ ජාතිකත්වය පිළිගෙන ජාතිකත්වය සමග එකතු වී එක් ගමනක් යෑමට කැමැත්ත දැක්වූයේ සුළු පිරිසකි. අති මහත් බහුතරය ජාතිකත්වයට එරෙහි වූවෝය. පසු කාලීනව කොටි සංවිධානය සමග එක් වූයේ මේ අයගෙන් කොටසකි මේ ගනයේ සෙස්සන්ද කොටින්ට සහය දැක්වූවෝය. ඒ අතින් බලන කළ උතුරේ සිවිල් වැසියන් ලෙස රටේ ජාතිකත්වය පැත්තෙන් බලන කළ වැදගත් වන්නේ අධිරාජ්‍යවාදියාගේ සේවකයන් ලෙස නොසිතා රටේ සිංහල බෞද්ධ ජාතිකත්වය සමග එක ගමනක් යන්නට කැමති වූ සාමාන්‍ය දෙමළ පුරවැසියන් වෙති. සටන් පැවති සමයේ මහසොහොන් බලකායේ සාමාජිකයන්ට එවැනි සාමාන්‍ය දෙමළ පුරවැසියන් හා සිවිල් පිට උන් කොටින් වෙන්කර හඳුනාගන්නට බැරිකම තිබුණා යැයි කියන්නට කොහෙත්ම බැරිය. අනෙක් අතින් බලන කළ එම හමුදා ඒකකයට ඉහල විනයක් තිබූ බැවින් කොටි බලය පැතිරුනු ප්‍රදේශයට ඇතුල් වී රහසේම ඝාතනය කළයුත්තේ කාවද කියා තෝරා බේරා ගැනීමට සිහියක් නොතිබෙන්නටද බැරිය. මක් නිසාදැයි කියතොත් ඊලමක් අවශ්‍ය නැති සාමාන්‍ය සිවිල් වැසියන්ව අපමණ වෙහෙසක් දරා ජීවිත අවධානමද ගෙන ඝාතනය කිරීමට යෑම කොටින්ට එරෙහි ජාතික සටනට කිසිදු ප්‍රයෝජනයක්  අත්කර නොදීමයි. මේ නඩුව ගොනු වී ඇත්තේද මෑතක නොවේ. මෙලෙස කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක සටනේ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකළ රණවිරුවෙකුට එරෙහිව නඩුවක් ගොනු වීමම එක්තරා ගැටළුවකි. එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවා ඇත්තේ රටේ ජාතිකත්වයට පක්ෂ වූවන්  නොවන බව පැහැදිලිය. නඩුව උසාවි ගෙනගොස් ඇත්තේද විජාතික බලවේග වල බලපෑමට විය නොහැකි යැයි කාට කිව හැකිද?
                    

 සිවිල් වැසියන් ඝාතනය කියන කාරනාවේදී කොටින් විසින් ඔවුන් බලය පතුරුවාගෙන සිටි ප්‍රදේශ වලට ආසන්නයේ තිබූ සිංහල ජනාවාස වලට පහර දෙමින් සිංහල සිවිල් වැසියන් ඝාතනය ගැන කියන්නේ කුමක්දැයි සුනිල් රත්නායක රණවිරුවාට මරණ දඬුවම දීම හරි යැයි කියන මහින්ද විරෝධී යහපාලන ගොන් බිජ්ජන්ගෙන් ඇසියයුතුය. ඔවුන් ඇඟ බේරාගන්නට කියනු ඇත්තේ කොටි සංවිධානයේ කේපී කරුනා වැන්නන් මහින්ද සෙවනේ සිටි බවයි. එහෙත් කරුනා කේපී යන පුද්ගලයන්ට ඊලම ගැන සිහින මවමින් මහින්දගේ රජයෙන් දඬුවම් නොවිඳ බේරී සිටින්නට අවස්ථාවක් නොතිබුණි. ඔවුන්ට ඊලම අත් අරින්න උනා පමණක් නොව ඔවුන් සිහින මැවූ ඊලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් මෙහෙයවූවන් ගැන තොරතුරුද රජයේ ආරක්ෂක අංශ වලට ලබාදීමට සිදු විය. අද බැටළු හම් පොරවාගෙන යහපාලනය මෙහෙයවන එක්සත් ජාතික පක්ෂ හිවල් රැල 1989 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීමට මුවා වෙමින් සිවිල් වැසියන් බුරුතු පිටින් ඝාතනය ගැන අපට තවත් ප්‍රශ්නයක් ඇසීමට සිදුවේ. වධකාගාර වල අති අමානුෂික ලෙස වද විඳ මියගිය සිවිල් වැසියන් ගැන මානව හිමිකම් සංවිධාන කිසිවිට කතා නොකරන්නේ ඔවුන් සියල්ලන්ම වාගේ සිංහලයන් වන නිසාය. එහෙත් මේ මානව හිමිකම් සංවිධාන වලට උතුරේ සිවිල් වැසියන්ගේ පමණක් නොව කොටින්ගේද මානව හිමිකම් ගැන කතා කරන්නට දේවල් ඇත. අනෙක් අතට මානව හිමිකම් එන්ජීඕ කාරයන් බටහිරින් ආධාර ලබන අතර බටහිර ගැති එක්සත් ජාතික පක්ෂයටද ලැදිය. මේ වනවිට යහපාලන වුර්ක රැල රණවිරුවන් මිනීමරුවන් කර ඔවුන්ට එරෙහි නඩු අධිකරන ලවා විභාග කිරීමද ඉක්මන් කරවමින් ඔවුන්ට මරණ දඬුවම දීමට ක්‍රියා කරන්නේ ඊලාම්වාදීන් ප්‍රමුඛ විජාතික බලවේග සතුටු කිරීමටය. ඒ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන වෙස්ගත් වහපාලනයත් විජාතික බලවේග නියෝජනය කරන බැවිනි.
                        

රණවිරුවාට අත් වූ අවාසනාවන්ත ඉරනම අපට පෙන්වා දෙන්නේ අන් කවරක්වත් නොව ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම උත්සන්න වී ඇති තරමයි. මේ වනවිට යහපාලනය නමින් සිංහල බෞද්ධ ජාතිකත්වයට හැම අතින්ම හතුරුකම් කරන විජාතික රජයක් බිහිවී තිබෙන්නේ ජනවාරි 8 වනදා මේ ජාතික විජාතික ගැටුම තේරුම් නොගෙන කුඩු කෑවුන් මෙන් අසිහියෙන් සිංහල බෞද්ධයන්ම කොටසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දීමෙනි. මේ විජාතික කල්ලිය බලවත් වීම මීට කලකට පෙර සිට විජාතික උවමනා එපාකම් මත අපේ කතාවේ රණවිරුවාට එරෙහිව ගොනු වී තිබූ නඩුවේ තීන්දුව ජාතික අරමුණු වලට පිටින් ගොස් විජාතික බලවේග වලට පක්ෂව තීන්දු වීමට පැහැදිලිව බලපෑවේය. මෙම තත්වය එක්තරා අතකට බලනකල රට තුලම රටේ ජාතිකත්වයට එරෙහි සතුරු බලවේගයක් ස්ථාපිත කර පෝෂණය කරගනිමින් එයින්ම බැට කෑමේ තත්වයකි. ඊට වගකිවයුත්තේද මේරටේම සිටින විජාතික ගැත්තන් පිරිසක් හා හිතන්න මොළයක් නැති අදූරදර්ශී බඩගෝස්තරවාදීන් පිරිසයි. ලෝකයේ වෙනත් කවර රටක බැලුවත් දේශපාලන පක්ෂ වලට බෙදී එකිනෙක විරුද්ධ ප්‍රතිපත්ති මත පිහිටා දෙශපාලකයින් කවරාකාරයකට තරඟ කළත් අදාල රටේ ජාතිකත්ව කොඳු නාරටියට පහර දීමට ඔවුන් කිසිවෙක් ඉදිරිපත් නොවෙති. එපමණක්ද නොව රටට තීරනාත්මක ජාතික අනතුරකදී සියල්ලෝම කොන්දේසි විරහිතව රටේ ජාතිකත්වය පැත්තේ හිඳිමින් ජාතික අනතුර මැඩ පැවැත්වීමට පෙළගැසෙති. අපේ රටේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. නිදහසින් පසුවත් රට ගොඩනැගූ රටට ආවේනික සිංහල බෞද්ධ ජාතික බලවේගයට රටේ රාජ්‍යත්වයට ඇති උරුමය හරියට කියාගන්නට නොහැකිව නන්නත්තාර වී ඇත. ඒ අතරම අධිරාජ්‍යවාදියාගේ දෙමළ සේවකයා රටෙන් පැත්තකට උරුමකම් කියමින් බෙදුම්වාදී මාවතක යයි. සියල්ල අස්සේ බටහිර සතුටු කරමින් ඊලාම්වාදීන්ද සමග හවුලේ විජාතික ගැති ගමනක් යන්නට විජාතික බලවේගවල ඒජන්තයා වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බටහිර අනුකාරක පොෂ් මෝඩ නාගරික උගත් රැල සැදී පැහැදී සිටිති. මෙය තවමත් ලිහාගන්නට නොහැකිව තිබෙන ගැටයක් වෙයි. දේශපාලනය තුලද සියල්ලෝම පොදු ජාතිකත්වයක් යටතේ වෙනස් ප්‍රතිපත්ති ඇත්තවුන් පක්ෂ වලින් වෙන වෙනම දේශපාලනය කරනවා වෙනුවට ජාතිකත්වය හා විජාතිකත්වය මත ප්‍රධාන වශයෙන් දේශපාලනය දෙකට බෙදී ඇත.
                           

මේ තත්වය යටතේ ජාතිකත්වයෙන් විජාතිකත්වයටත් නැවත ජාතිකත්වයටත් පෙරලෙමින් අරමුණක් නැතිව ඉදිරියට ඇදෙන මෙරට දේශපාලනයේ තවත් එක් අවිචාර සමයක් උදා කරමින් විජාතිකත්වය ජයගෙන රටට ආවේනික ලෙස සිතන පතන ජාතිකබලවේගයට විරුවෙක් වූ සුනිල් රත්නායක රනවිරුවා රටේම අධිකරණයකින් වරදකරුවෙක් කර මරණ දඬුවම නියම වී සිටියි. මේ තත්වයට බලපාන පසුබිම ඉතා සංකීර්ණය. ජාතිකත්වය රටේ වැදගත්ම දේ වන්නට අවශ්‍යකරන විශේෂ පසුබිමක් වෙයි. එය විවිධ හේතු නිසා අපේ රටේ නිර්මාණය වීම පසුබා තිබේ. සියල්ල මේ ලිපියේ විස්තර කළ නොහැක. එක් උදාහරණයක් පමණක් කෙටියෙන් කිව හැක. එනම් උදාහරණයක් ලෙස බැලුවොත් රටේ අධ්‍යාපනය ජාතිකත්වයෙන් පිට බටහිර යුදෙවු නූතනත්වයේ විජාතික මතවාදී ආධිපත්‍ය තුලම හිරවී තිබීම පෙන්වා දිය හැක. අපේ රටට හෙන වද්දන විජාතික බලපෑම් නැතිකිරීමටනම් ඉහත උදාහරනයෙන් පෙන්වූ සිද්ධිය වැනි දුර්වලතාවයන් මගහරවා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා අවශ්‍ය මතවාදී පෙලගැස්ම ජාතිකත්වය කේන්ද්‍ර කරගෙන දැන්ම ඇති කළ යුතුය. පාර්ලිමෙන්තුව විසිරුවා හැර තිබෙන මේ මොහොතේ එම කටයුත්ත එළඹෙන මැතිවරණයේදීම කිරීමට අප දැන් සිට අධිෂ්ඨාන කර ගතයුතුය. මේ එන චන්දයේදී සිහිබුද්ධියෙන් එම කටයුත්ත කර මහින්ද රාජපක්ෂ මහතා වටා රොක් වී ජාතික බලවේගයට පක්ෂ රජයක් පිහිටුවා නොගත්තොත් සුනිල් රත්නායක රණවිරුවාට අත් වූ ඉරනම ඉතිරි සියළුම රණවිරුවන්ටත් අත් වී සමස්ථ ජාතියටම අත්වීමද වැලැක්විය නොහැක. ඉන් පසුවට ජාතිකත්වයට ගොඩ එන්නට සිදුවන්නේ ආයුධ සන්නද්ධ නව නිදහස් සටනක් මෙහෙයවීමෙන් පමණක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එබැවින් මේ දැන් එළඹෙන්නේ රටේත් ජාතියේත් ඉරනම තීරනය කරන තීරනාත්මක මැතිවරණයක් බව සිහි තබාගෙන ජනවාරි 8 වනදා කළ වරද නැවත නොකිරීමට සිංහල බෞද්ධ බහුතර චන්ද දායකයින් වගබලාගත යුතුය.

විශේෂ ලියුම්කරු

4 comments:

  1. \\මේ එන චන්දයේදී සිහිබුද්ධියෙන් එම කටයුත්ත කර මහින්ද රාජපක්ෂ මහතා වටා රොක් වී ජාතික බලවේගයට පක්ෂ රජයක් පිහිටුවා නොගත්තොත් සුනිල් රත්නායක රණවිරුවාට අත් වූ ඉරනම ඉතිරි සියළුම රණවිරුවන්ටත් අත් වී සමස්ථ ජාතියටම අත්වීමද වැලැක්විය නොහැක.\\

    මේ චන්දේ අපට ජාතියක් හැටියට තීරනාත්මකයි. යහපාලනය බලාපොරොත්තුවෙන් තවත් පරන ගොන්කම කළොත් අපට වෙන්නේ හුස්මක් ගන්න බැරි තරමට ජාතියක් හැටියට බෙල්ල හිර වෙන එක. රණවිරුවන් මෙහෙන් වරදකරුවන් කරද්දී ජාත්‍යන්තර අධිකරණ වලිනුත් අපිව හිර කරයි. මේ චන්දයෙන් මහින්ද දිනවීම කියන කාරනේ කෙසේවෙතත් රනිල් සමග එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අජිත්. මේ චන්දේ සිංහලයනට් බෞද්ධයන්ට අතිශය තීරනාත්මකයි

      Delete
  2. ඇස් කන් නැති එවුන් වගේ හිටියොත් රටම ඉවරයි. මීලඟ චන්දේදි හරි තීරනයක් ගන්න වැඩි පිරිසකට මොළේ පෑදිල තියන එක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. මේ පාර බොරු මවාපෑම් කොළ කොඩිවැල් වලට රැවටෙන්න කවුරුවත් නෑ. මහින්දගෙන් පලිගන්න රටම කොටියටයි විජාතික බලවේග වලටයි පාවදෙන්න බඩගෝස්තරවාදයක් තියෙන්න බෑ.

      Delete