Tuesday, April 14, 2015

රට අනාරක්ෂිත කර ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් කිරීම


පසුගිය මාර්තු මස 22 වන දින අපට වැදගත් පුවතක් අසන්නට ලැබිණ. ඒ හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "ෆීල්ඩ් මාර්ෂල්" තනතුරට උසස් කිරීම ගැන පුවතයි. මේ තනතුර ඔහුට පිරිනමා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ෆීල්ඩ් මාර්ෂල් යනු ගෙනෙරාල් තනතුරට හරියටම ඉහලින් ඇති තනතුර වන අතර එය තරු පහක් සහිත ලාංඡනයක් සහිතව මෙරට යුධ හමුදාවේ ලබාගත හැකි ඉහලම තනතුර වේ. මේ ගැන වැඩි විස්තර කතා කිරීමට මත්තෙන් අප පළමුව කියා සිටින්නේ සරත් ෆොන්සේකා මහතා එම තනතුරෙන් පිදුම් ලැබීමේ කිසිදු වරදක් නැති බවත් ඔහු විසින් කොටි ත්‍රස්තවාදය පැරදවීම සඳහා කළ කැප කිරීම සලකා බැලීමේදීද එය සාධාරන බවයි.
                  වර්ෂ 1970 සිට ලංකාවේ යුධ හමුදා සේවයේ යෙදී සිටිමින් කොටි ත්‍රස්තවාදය පැරැදවීම දක්වා සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් තම රාජකාරි නිවැරදිව ඉටු කිරීම ගැන එතුමාට ප්‍රශංසා කිරීමට අප නොපැකිලෙමු. එහෙත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුවටනම් ඒ මහතා විවිධ සටකපට දේශපාලන බලවේග වල මුසා වලට රැවටෙමින් කරන්නට ගිය දේශපාලනයනම් අනුමත කළ නොහැකි එකකි. කෙසේ නමුත් එය එසේ වූ පමණින් ඒ මහතා කෙරෙහි අපගේ ඇති ගෞරවය නැති වන්නේද නැත. ෆීල්ඩ් මාර්ෂල් යනු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලැබිය හැකි උසස්ම තනතුර වන අතර එය සමාන වන්නේ නාවික හමුදාවේ අද්මිරාල් හා ගුවන් හමුදාවේ මාර්ෂල් යන තනතුරු වලටයි. සරත් ෆොන්සේකා මහතාට ඉහලම තනතුරක් සමග ලැබියයුතු ගෞරවය දැන් ලැබී තිබේ. එහෙත් අප විසින් සාකච්ඡා කළයුතු වැදගත් කාරනාවක් වෙයි. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට මේ තනතුර ලබාදීමේ අරමුණ කුමක්ද යන්නයි.
                      

  මේ පිළිබඳව පළ වූ පුවත් වලට අනුව සරත් ෆොන්සේකා මහතා විසින් රටට කළ මෙහෙය වෙනුවෙන් ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කර ඇත. මෙතැනදී අපට මතුවන ගැටළුව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතා රටට කළ මෙහෙය හඳුනාගත් ආකාරය හරිද යන්නයි. ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහනයෙන් පසුවට කළ දේශපාලනයනම් අපට අනුමත කළ හැක්කක් නොවේ. නමුත් ඔහු කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් කළ මෙහෙයනම් රටටම අමතක නොවන වැදගත් ජාතික මෙහෙවරකි. ප්‍රශ්නය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ෆොන්සේකා මහතා කොටි ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමට එවකට යුධ හමුදාපතිවරයා වශයෙන් නායකත්වයක් ලබාදීම ඔහු විසින් කළ වැදගත් මෙහෙයක් ලෙස හඳුනාගත්තේද යන්නයි. අපට ඒ ගැටළුව පැන නගින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු ලැබූ යුධ ජයග්‍රහනය හා උතුරේ තවමත් අළු යට ගිනි පුපුරු මෙන් තිබෙන ඊලාම්වාදී බෙදුම්වාදය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති දෙස බලන විටය.
                     

  කවුරු මොකක් කීවත් සරත් ෆොන්සේකා මහතා රටට කළ ලොකුම මෙහෙය ලෙස රටේ අති මහත් බහුතර ජනතාවක් හඳුනාගෙන තිබෙන්නේ ඔහු විසින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුමේදී යුධ හමුදාවර විශිෂ්ඨ නායකත්වයක් ලබා දීමයි. ෆොන්සේකා මහතා කළ එම මෙහෙවර මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ ආකාරයෙන් හඳුනාගෙන ඒ අනුව ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දුන්නේනම් ඔහුද ප්‍රභල පාර්ශව කරුවෙකු වෙමින් ලබාගත් යුධ ජයග්‍රහනය ආපස්සට අදිමින් ඊලාම්වාදීන් හා ඔවුන්ට පක්ෂ විජාතික බලවේග සතුටු කිරීමටද සිරිසේන මහතාට පුළුවන්කමක් තිබිය නොහැක. එහෙත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දී ගෞරවයට හා ඇගයීමට ලක්කරන අතරම අද මෛත්‍රීපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් එදා රට දෙකඩ කරන්නට උත්සහ ගත් එල්ටීටීඊ එකේ මතවාදී නියෝජිතයා වන ටී එන් ඒ එකට හා ඔවුන්ගේ සහයක අනෙකුත් විජාතික කණ්ඩායම් වලට පක්ෂපාතී ලෙස කටයුතු කිරීමට ක්‍රියා කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය පරස්පර විරෝධී තත්වයකි. ෆොන්සේකා මහතා රටට කළ මෙහෙය හැටියට වෙනත් යමක් සිරිසේන රනිල් පාලනය විසින් හඳුනාගෙන ඇත්ද යන්නත් වෙනමම ගැටළුවකි. මන්ද සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාවට නායකත්වය දෙමින් කොටි සංවිධානය සුනු විසුනු කර දමා රටම මේ උවදුරෙන් මුදවාගැනීමේ ප්‍රධාන පාර්ශවකරුවා වීම හරි හැටි ඇගයීමට ලක්කරන්නේනම් කිසිවිට ඒ ක්‍රියාදාමයේදී සතුරු පාර්ශවය ලෙස කටයුතු කළ එල්ටීටීඊ කොටින්ගේ හිතවත් විජාතික බලවේග තෘප්තිමත් කරමින් යුධ ජයෙන් පසු ස්ථාපිත කළ උතුරු නැගෙනහිර හමුදා බලය දුර්වල කිරීම කිසිවිට කළ නොහැකි බැවිනි.
                 
පසුගිය ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරනයෙන් ජයගත් මොහොතේ සිට මේ දක්වා සිදුවුනේ කුමක්ද? මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මහින්ද විරෝධී මානසිකත්වය මත පිහිටා සියළු වැඩකටයුතු කරගෙන යන්නට වගබලාගත්තේය. ඊලාම්වාදය කෙරෙහි සහනශීලී ප්‍රතිපත්ති කවදත් අනුගමනය කළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන කටයුතු ආරම්භ කළේය. එතැන් පසුවට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා සමග තිබූ අමනාපකම මුල් කරගනිමින් රාජපක්ෂ රජයේ වංචා දූෂණ සෙවීමත් රාජපක්ෂ හිතවාදීන් මර්ධනය හා රාජපක්ෂ පාලනයේ ජාතිකත්වයට බොහෝදුරට පක්ෂ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙස ක්‍රියා කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය තුල වංචාව දූෂණය ඉහවහ ගොස් තිබීම හරි යැයි අප නොකියමු. ඒ සියළු වංචනික ක්‍රියා මහින්ද රාජපක්ෂ මහතාගේ ගිනුමට බැර කිරීමද සාධාරන නැත්. අනෙක් අතට වංචනික දේශපාලකයින්ට නොකඩවා චන්දය ලබාදෙන්නේ මේ රටේම මිනිසුන් වන බැවින් එහි වගකීමෙන් කොටසක් චන්දදායකයාටද ඇත. සියල්ල එසේ සිදුවෙද්දී පසුගිය රජයේ වංචා දූෂණ ගැන කියමින් දෙමළ ඊලාම් බෙදුම්වාදය හා ඊට පක්ෂ විජාතික බලවේගත් මුස්ලිම් වර්ගවාදයත් සතුටට පත් කරමින් යන යහපාලන ගමන තුල ෆොන්සේකා මහතා එවකට යුධ හමුදාපති වශයෙන් හමුදාවට නායකත්වය දෙමින් කළ මෙහෙය නිවැරදිව තක්සේරු කිරීමක් හෝ ඇගයීමක් තිබේද? ඒ ගැන ෆොන්සේකා මහතාටද වගක් නැතිදැයි එක් පසෙකින් ප්‍රශ්නයක් මතු වේ. ෆොන්සේකා මහතාද මහින්ද විරෝධී දේශපාලන මාවතක යෑමට උත්සහ දැරූ බැවින් ඔහුත් මහින්ද විරෝධය ඊලාම්වාදයට ඇති විරුද්ධත්වයට වඩා සලකන්නේද යන්නත් පැහැදිලි නැත. කාරනා කොයි හැටි වෙතත් මේ වන විටනම් යුධ ජයග්‍රහනයන් ඇගයීමට වඩා අවතක්සේරුවට ලක්කර විග්නේශ්වරන්ලා බලවත් වන තත්වයක් උදා වී ඇත. මෙය යුධජයග්‍රහනය වෙනුවෙන් කැප වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේද ධෛවයේ සරදමක් වැනිය.
                            
අද එක් පසෙකින් ඊලාම්වාදය සනසන්නට එංගලන්තයෙන් හා ඉන්දියාවේ මෝඩි මහතාගෙන් ලංකාවේ සිරිසේන ජනාධිපතිවරයාට උපදෙස් ලැබෙමින් ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට පැමිණ රජීවු ගාන්ධි මහතා කලින් කළ වැඩ කොටසේ ඉතිරිය කරන්නට මුල පිරුවේය. එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ලා හා ඇමරිකන් බටහිර කණ්ඩායම් බොරු යුධ අපරාධ චෝදනා එල්ලකර මහින්ද රාජපක්ෂ මහතාටත් ගෝඨාභය ඇතුළු රනවිරුවන්ටත් දඬුවම් කර ජාතික බලවේගද බිමට සමතලා කිරීමට උපදෙස් දෙති. විජාතික අන පරිදි මේ වන විට උතුරේ හා නැගෙනහිර අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම මහා පරිමාණයෙන් සිදුවන්නේ යුද්ධයෙන් මියගිය රනවිරුවන්ගේ ජීවිත වල වටිනාකමටත් අවමානයක් කරමිනි. මෑතක අසන්නට ලැබුණේ හසලක ගාමිණි විරුවාගේ ස්මාරකය අලිමංකඩින් ඉවත් කිරීමට යන බවකි. ඒ දෙමළ ඊලාම්වාදීන්ගේ සිත් දිනාගැනීමටය. සාම්පූර් අධි ආරක්ෂක කලාපයද ඉවත් කෙරුනේ මෑතකය. නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන්ටද මේ වන විට රජ මගුල් බව දන්නෝ දනිති. එක්සත් ජාතික පක්ෂය හා රාජිතලා ජාතිවාදී ලේබලය අලවමින් ජාතික බලවේග නිහඬ කිරීමටද සැලසුම් කරමින් සිටිති. මේ සියල්ල අතරේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමද ඉදිරියට ඇදෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විජාතික බලවේග වලට එරෙහිව එදා අභියෝග ජයගනිමින් කොටි ත්‍රස්තවාදය පැරදවීමේ හමුදා මෙහෙයුමට නිසි දේශපාලන නායකත්වය නොදුන්නේනම් අද ෆොන්සේකා මහතාට දුන් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන කතා කරන්නට දෙය ඉතිරි නොවන්නට තිබුණි. සිරිසේන රනිල් වත්මන් රජයේ මේ ව්හිළු වැඩ දකින විට අපටනම් හිතෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ෆොන්සේකා මහතාට දීමට සිරිසේන මහතාගේ නායකත්වයට තිබූ උවමනාව මහින්ද රාජපක්ෂ මහතාට රිදවීම සඳහා මිස යුධ ජයග්‍රහනය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීමට නොවන බවයි.

4 comments:

  1. ඔව්. කොටි.. ! ඊලම.. !ජාත්‍යන්තර කුමන්ත්‍රන.. !රට බේරා ගන්න මහින්ද බලයට ගෙනෙමු..!

    ඕකනේ සාරාන්ශය නේද? මරු ලිපිය..

    ReplyDelete
    Replies
    1. මහින්ද බලයට ගේමු කියල මම නෙවෙයි කියන්නේ මේ වෙනකොට මහින්දගේ නායකත්වය ආයෙමත් ඕන කියන මතේට අති විශාල පිරිසක් ඇවිල්ල දැවැන්ත ජන රැල්ලකුත් නිර්මානය වෙලා ඉවරයි. ලිප්ය ලිවුවේ ඒ කාරනේ මතක් කරනවට වඩා ආණ්ඩුවේ ජාතිකත්වය සම්බන්ද්ධ ප්‍රතිපත්ති දිහා බලනකොට ෆොන්සේකා මහත්තය ෆීල්ඩ් මාර්ෂල් කරපු එකේ තේරුම මොකක්ද කියන එක ගැන විචාරයක් කරන්න.

      Delete
  2. //මන්ද සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාවට නායකත්වය දෙමින් කොටි සංවිධානය සුනු විසුනු කර දමා රටම මේ උවදුරෙන් මුදවාගැනීමේ ප්‍රධාන පාර්ශවකරුවා වීම හරි හැටි ඇගයීමට ලක්කරන්නේනම් කිසිවිට ඒ ක්‍රියාදාමයේදී සතුරු පාර්ශවය ලෙස කටයුතු කළ එල්ටීටීඊ කොටින්ගේ හිතවත් විජාතික බලවේග තෘප්තිමත් කරමින් යුධ ජයෙන් පසු ස්ථාපිත කළ උතුරු නැගෙනහිර හමුදා බලය දුර්වල කිරීම කිසිවිට කළ නොහැකි බැවිනි.//

    රණවිරුවෙක් ලෙස ෆොන්සේකාගේ මෙහෙය අවිවාදිතය.නමුත් ඔහුට ඒ සඳහා අවශ්‍ය වාතාවරණය ඇති කලේ රනිල්, සිරිසේන හෝ චන්ද්‍රිකා නොවේ.මෝඩි හෝ ඩයස්පෝරාව නොවේ.දේශපාලන්ඥයෙක් වශයෙන් ෆොන්සේකා අතිශයින්ම ප්‍රාථමිකයි.සෑම දේශපාලනඥයෙකු තුලම අඩු වැඩි වශයෙන් පවතින්නාවූ බල තණ්හාව ඔහුගේ උපරිමය.අනික් අතට රණවිරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව යුද්ධය අවසන්කිරීම සහ මාෂල් තනතුරෙන් පිදුම් ලැබීම සමග අවසන් වන්නට නොහැකිය.කියන තරමට යකා සුදු නම් ඔහු හවුල් පාලනයක් යටතේ අද උතුරේ සිදුවන දේ සිදුවන්නේ කොහොමද?සහ ඒ බැව් දැක දැකත් ඔහු නිහඬව සිටින්නේ ඒවා අනුමත කරන නිසා වන්නට බැරිද?නැත්නම් තරු පහෙන් මුකවාඩම් දමලාද?

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කයත් අතිශයින්ම වැදගත් මගේ ලිපියේ මේ ගැන ලොකුවට විස්තර කරන්න බැරි උනා. ඔබේ කමෙන්ටුවෙන් ඒ අඩුවත් මගහැරුනා. ෆොන්සේකා මහාලොකු වීරයෙක්නම් උහුත් දායක වී ලබාගත් යුධ ජයග්‍රහනය ආපසු හරවමින් රටේ ඒකීය භාවය පවා අනතුරට ලක්කරනතෙක් ඔහුට ඇස් කන් පියාගෙන සිටින්නට බැරි වියයුතුයි.

      Delete