Monday, March 30, 2015

මෝඩිගේ බොරු ශෝ එක හා දිය යටින් ගින්දර ගෙනයෑම


පසුගිය මාර්තු 13 දා ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා හා ඔහුගේ සංචාරය සම්බන්ධ විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ අපට දකින්නටත් අසන්නටත් ලැබුණි. ජනමාධ්‍ය වලින් කුමන කතාවක් කවර ආකාරයකට කීවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන අපට විචාරයක් තිබිය යුතුය.
                       මෑත ඉතිහාසය පුරාවට ඉන්දියාව ක්‍රියාකර ඇත්තේ අපේ රටට හිතවත් ආකාරයකට නොවේ. මෙය සමස්ථ ඉන්දීය ජනතාවම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළයුතුයැයි සිතන ආකාරය නොවිය හැක. නමුත් ඉන්දීය නායකයන් ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති අපේ රට පැත්තෙන් බලන කළ අපට ඒ තරම් හිතකර නැත. විශේෂයෙන් රටේ ජාතිකත්වයට හා රාජ්‍යත්වයට අහිතකරය. ඉන්දියානු නායකයින්ගේ මේ හැසිරීම වඩා තීව්‍ර වී ඇත්තේ ඉන්දියාව බටහිර යුදෙවු නූතනත්වය ග්‍රහනය කරගෙන ඒ ඔස්සේ බටහිර සංවර්ධන ප්‍රතිපත්ති අනුගමනය කරමින් ලෝක බලවතෙකු ලෙස ඉදිරියට එන්නට දරන උත්සහයත් සමගයි. මින් ඉහතදීද ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සිය බලය යොදා රටට අහිතකර බලපෑම් ඇතිකළ අවස්ථාවක් අප කාටත් මතක ඇතුවාට කිසිදු සැකයක් නැත. එවකට ලංකාවේ ජනාධිපතිවරයා වූයේ ජේ ආර් ජයවර්ධන මහතායි. දෙමළ ඉලාම්වාදයේ සන්නද්ධ අරගලය නිල වශයෙන් ආරම්භ වීමත් සමග එවකට පැවති රජයේ මැර කල්ලි හා කළුකඩ මුදලාලිලා ඇතුළු එක්සත් ජතික පක්ෂයට සම්බන්ධ වසල ව්‍යාපාරිකයින් බොරු ජාතිආලයක් පෙන්වා ඊලාම්වාදීන් නොවූ උතුරත් නැගෙනහිරත් හැර සෙසු ප්‍රදේශවල සාමාන්‍ය දෙමළ වැසියන් ඝාතනය කරමින් හිරිහැර කරමින් හා ඔවුන්ගේ දේපල කොල්ලකමින් කෝලාහලයක් කරන්නටද විය. බටහිරට එතරම්ම නැඹුරුවක් නොතිබුණත් ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය හා ක්‍රියාකලාපයන් නොරිස්සූ ඉන්දීයාවේ එවකට අගමැතිව සිටි රජීව් ගාන්ධි මහතා උතුරේ දෙමළ බෙදුම්වාදයට පක්ෂව ගුවනින් පරිප්පු දමමින් ඉන් නොනැවතී සාමසාධක හමුදාවක්ද ලංකාවට එවා උතුරු නැගෙනහිර එක්කර පලාත්සභා පිහිටුවීමට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට බල කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එමිනි.
                                           

   එදා උතුරේ දෙමළ ඊලාම්වාදයට පක්ෂව ජේ ආර් ජයවර්ධන මහතා බියගන්වමින් රට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා සිය බලය යොදා සාම ගිවිසුමක් අත්සන් කරවාගත්තේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අකමැත්ත පිටයි. එහිදී ඉන්දීය අගමැතිවරයාගේ බලපෑම මත ලංකාවේ උතුරු නැගෙනහිර දෙපලාත එක් කර පලාත් සභා නමින් රටේ ජනතාව නොඉල්ලූ පාලන ඒකක පිහිටුවා දෙමළ බෙදුම්වාදීන්ගේ ස්වයංපාලන මානසිකත්වය සනසාලන්නට ජේ ආර්ට සිදුවිය. පලාත්සභාව මේවනවිටත් පාර්ලිමෙන්තුවට වගකියන ආකාරය පැහැදිලි නැත. එවකට 1987 මුල්ම වරට පැවැත්වූ පලාත්සභා චන්දයෙන් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර මහ ඇමති බවට පත්විය. ඔහු මහ ඇමති වූ වහාම උතුරු නැගෙනහිර ඊලාම් කොඩිය ඔසවා ඊලාම් රාජ්‍ය ප්‍රකාශ කිරීමට පියවර ගත්තේය. එදා රට බෙදී යෑම වලක්වමින් උතුරු නැගෙනහිර පලාත්සභාව විසුරුවා හැරියේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විධායක බලතල භාවතා කරමිනි. එදා රජීව් ගාන්ධි ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය හා ඔහු රටට කළ බලපෑම එයයි. එකළ ඉන්දියාව එතරම්ම බටහිරකරනය වී නොතිබුණත් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියාකළේ දැඩි ඇමරිකන් මානසිකත්වයකිනි. ඉන්දියාව මෙරට ඊලාම් බෙදුම්වාදී ගැටළුවට මැදිහත් වී ලංකාවට අධිරාජ්‍යවාදීන් වහල් සේවකයන් ලෙස ගෙනා ඉන්දීය දෙමළ ජනයාගේ වර්ගවාදී මානසිකත්වය තවත් වර්ධනය කිරීම අප රටට ඇතිකළ තර්ජනයකි. ලංකාවේ නායකයන්ට නිදහසෙන් පසුව ඉතා ඉක්මනින් කළයුතුව තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ සේවකයින් ඔවුන් ලවාම ඉන්දියාවට බාරදීම හෝ අධිරාජ්‍යවාදීන් වෙතම පිටත්කර යැවීමයි. එහෙත් එය ඒ ආකාරයෙන් නොවීමේ වරද මේ දක්වාම මුළු රටටම පීඩනයක් එල්ලකර තිබේ.
                            

ඉන්දියාව මේ වනවිට බටහිර යුදෙවු නූතනත්වය තුලට ආර්ථික සමාජ සංස්කෘතික ආදී සියළු අංශයන්ගෙන් ගමන් කරමින් තිබේ. හින්දු සංස්කෘතික පරිසරයක් ඇති ඉන්දියාවේ මේ වනවිට හින්දූත්වය දියාරු වී ඇත. හින්දූත්වය පදනම් කරගත් භාරතීය ජනතා පක්ෂ රජයක් බලයේ සිටින තත්වයකද ඉන්දියාව ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරට ගැතිකම් කීම තවත් වේගවත් හා සක්‍රීය මට්ටමකට පැමිණ තිබේ. රජීව් ගාන්ධි මහතාගේ ලංකා ගමනයට පසුව වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මෙරටට පැමිණියේ නිකම් නොවේ. ඒ රජීව් ගාන්ධි මහතා එදා ජේ ආර් ජයවර්ධන මහතාට තර්ජනය කරමින් කළ දේ ඉතිරි ටික මිතුරු වෙසින් කිරීමටය. මෝඩි මහතා තම සංචාරයේ ප්‍රධාන අරමුණ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කරුණුද ඉක්මවා යන බලය බෙදීමක් උතුරේ දෙමළ සන්ධානය වෙනුවෙන් කිරීමට උදවු දීම බව ප්‍රසිද්ධියේම කියා ඇත. අද මෝඩි මහතා සිරිසේන ජනාධිපතිවරයාට තර්ජනය කරන්නට යන්නේ නැත. ඒ සිරිසේන මහතා ඉන්දියාවට හා බටහිරට හිතවත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලංකානිදහස් පක්ෂයටත් වඩා හොඳින් රකිනා නායකයා බවට පත් වී සිටින නිසා. ඒ අනුව මෝඩි මහතාට අපේ රටේ සිරිසේන ජනාධිපතිවරයාට තර්ජනය කිරීමෙන් තරව හිතවත්කමෙන්ම අවශ්‍ය සියල්ල කරගැනීමට හැකි බව විෂ්වාසය. මෝඩි මහතා මේ සංචාරයේදී උතුරේ දෙමළ සන්ධාන නායකයින් හමුවීමටද අමතක නොකළේය. ඉන්දීය අගමැතිවරයා ලංකාවේදී සංඝයා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේත් ශ්‍රීමහ බෝධිය වැඳපුදාගත්තේත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ආචාර කළේත් 13 ඉක්මවා උතුරට බලය බෙදන්නට කරන ඉල්ලීමේ දුෂ්ඨභාවය හා සිංහල බෞද්ධ ජාතිකත්ව විරෝධී බව වසා ගැනීමටය. මේ බොරු මවාපෑම කළේ දෑහිතකාමී සිංහල ජනයා මුලා කිරීමට පමණි.
                  

   කවුරුන් කුමක් කීවද මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය සමූපකාරේ බඩු මිල නොවේ.බඩු මිල අඩු කර ගැනීමටනම් දේශපාලන දූෂණ නැති කිරීම පමණක් නොව රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගෙන නිෂ්පාදන ක්‍රියාවලිය නගාසිටුවීමද කළයුතු වේ. අනෙක් අතට දූෂිත දේශපාලකයින්ට පුරුද්දක් ලෙස චන්දය දෙන්නේ මේ රටේම ජීවත්වන පිරිසක් මිස පිටරටවුන් නොවන බවත් අමතක නොකළයුතුය. අද මේ ලංකාවේ ප්‍රධාන ගැටළුව ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමයි. ජාතික බලවේග නියෝජනය කරන්නේ රටට ආවේනික ලෙස සිතන පතන පිරිස වේ. විජාතික බලවේග වල ප්‍රධාන බලකනුව බටහිර සංස්කෘතික හා මතවාදී ආක්‍රමණිකයායි. ඒ හැරුනු විට ඊට දැන් එකතු වී ඇති අනෙක් කොටස මුස්ලිම් වර්ගවාදීන්ය. මේ ධාරා දෙක එකිනෙකට පරස්පර මතවාද අනුගමනය කළත් ලංකාවේ ජාතිකත්වයට එරෙහි වීමේ පොදු අරමුණ දෙපාර්ශවයටම ඇත. මේ ජාතික හා විජාතික ගැටුමේ ස්වභාවය වසංකරමින් බඩගෝස්තරවාදයෙන් මෙරට ජනයා අන්ධ කිරීමට ගෙනා ප්‍රෝඩාකාරී තේමාව වූයේ යහපාලනය යන්නයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයත් ඉන්දීය අගමැතිගේ ලංකාගමනයත් අහඹු සිද්ධීන් නොවේ. සිරිසේන ජනාධිපතිවරයා හා දූත පිරිසට එංගලන්තයේ විවේක සුවය ලබාදෙන්නට ඔවුන්ව එරටට ගෙන්වාගත්තේ නැත. එහි පැහැදිලි අරමුණනම් සිරිසේන මහතා බලයට පත් කිරීමට වෙහෙසුන බ්‍රිතාන්‍ය බලධාරීගේ මීලඟ කොන්දේසි ටික සිරිසේන මහතාට ඉදිරිපත්කර ඊට කැමති කරවාගැනීමය. ඒ අතර ඊනියා මානව හිමිකම් ඉදිරියට ගෙන බොරු යුධ අපරාද චෝදනා හමුදාවට එල්ල කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමත් ප්‍රධාන වේ. ඉන්දියාවේ මෝඩි මහතාටද ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගෙන මහා සංහරත්නයේ ආශිර්වාදය ලබමින් ලංකාවේ සවාරි යෑමටත් වඩා 13 ඉක්මවා බලය බෙදීමක් කිරීමට  මෙරට නායකයන්ට බල කිරීමේ උවමනාව වෙයි. මෝඩි මහතා මේ කරන්නේ දිය යටින් ගින්දර ගෙන යෑමයි. මේ කිසිදු ප්‍රෝඩාවකට අප රැවටියයුතු නැත. අවශ්‍ය වන්නේ අනෙක් සියළු ප්‍රශ්න මොහොතකට පැත්තකින් තබා රටේ ජාතික බලවේග සමග එකට සිටීමයි. එක්සත් ජාතික පක්ෂය බලවත් කොට ජාතික ආණ්ඩු හැදීමට ගියහොත් ඊට එකහෙලා විරුද්ධ වී මැතිවරනයක් පැවැත්වීමට බල කර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත්වන ජාතික බලවේග වලට හිතවත් කණ්ඩයම බලයට පත් කිරීම තීරනාත්මක ලෙස කළ යුතුමය.

විශේෂ ලියුම්කරු

1 comment:

  1. මෝඩි අනුරාධපුරේ ගිහිල්ල සිරිසේනලා එක්ක ජය ශ්‍රී මහ බෝධිය වඳිනකොට අපේ සමහර මෝඩ ශ්‍රද්ධාවන්තයෝ හිතුවේ මෝඩි ලංකාවේ ශ්‍රී විභූතිය දැක බලාගන්න ආව කියලා. ඒත් මෝඩි ආපු ඇත්ත හේතුව උතුරේ වර්ගවාදී දේශපාලන කණ්ඩායම වන ටී එන් ඒ එකට පලාත්සභා බලතල ඉක්මවා බලය බෙදන්න කියලා රටේ වත්මන් නායකයින්ට බල කරන එක.

    ReplyDelete