Monday, March 16, 2015

එ.ජා.ප මෛත්‍රී නොපෑහෙන දීගය හා ජනපති ගතයුතු මග


පසුගිය ජනාධිපතිවරනයේ පරතිඵලය හා මෙරට දේශපාලනය ගැන බොහෝ විචාර මාධ්‍ය තුලින් අපට අසන්නට දකින්නට ලැබුණි. එහෙත් මේ බොහොමයක් විචාර තුලින් කියවුනු සරල දේවල් වලට වඩා නොකියවුනු බොහෝ කරුනු තිබේ. අපගේ මේ උත්සහය එලෙස නොකියවුනු හා ජනාධිපති ධූර පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකළ විවිධ කණ්ඩායම් නොකියන්නට වගබලාගන්නා කාරනා හෙලි කරදීම සඳහාත් ඒපිළිබඳව විචාරයක් කිරීම සඳහාත් වෙයි.
               මින් පෙරද දේශපාලනයට අදාල ලිපි වල රටේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම කවරාකාරද යන්න ගැන අප කරුනු කියා ඇත්තෙමු. එනිසා එම කාරනය ගැන බොහෝ විස්තර කීමට වශ්‍ය නොවේ. මෙතැනදී කාට කාටත් අවුල්සහගත බවක් සිත්සතන් තුල ඇති කරවන්නේ රනිල් චන්ද්‍රිකා විදෙස් තානාපති එන්.ජී.ඕ විජාතික හවුලත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව ජාතික බලවේග වලට එරෙහිව පැන්න දේශපාලන පිම්මයි.එක්සත් ජාතික පක්ෂය සිරිතක් ලෙස නියෝජනය කළේ අධිරාජ්‍යවාදී ගැතිකම හා විජාතිකත්වයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද චන්ද්‍රිකා කුමාරතුන්ග පාලන සමයේ එක්සත් ජාතික පක්ෂයටම සමාන මුහුනුවරක් ගත්තද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඊට නැවතත් ජාතිකත්වයට නැඹුරු වූ මුහුනුවරක් ලැබුණි. යුද්ධය අවසන් කර මුලුමනින්ම නැතත් බොහෝසෙයින් ජාතික බලවේග වලට හිතවත් ගමනක් ගිය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය පෙරලා දැමීමට විජාතික බලවේග රජය බිහිවුනදා සිටම දැඩි උත්සහයක නිරත විය. එහිදී මේ විජාතික නඩයට රජය ලබා සිටි ජනප්‍රසාදය අභිබවා යන දුර්වලතා සෙවීමට විශේෂයෙන් සිදුවිය. ඔවුන්ට අවශ්‍ය පමණට වංචා දූෂණ නාස්තිකාරකම් සොයාගන්නට හැකි වූයේ යුධ ජයග්‍රහනයෙන් පසුව රජය ජාතිකත්වය මත පදනම් වූ නිසි වැඩපිළිවෙලක් නොමැතිව ජාතික ධනය අයතා ලෙස පරිහරනය කරන හොරුන් පිරිවරාගත් අයාලේ යන දේශපාලන ගමනක් යෑම නිසයි. කෙසේ වෙතත් රාජපක්ෂ රජයේ ජාතික බලවේග වලට හිතවත් බව මත ඊට ඇති ජනතා ප්‍රසාධය බිඳවැට්ටවීමේ අන්හියෝගය ජයගැනීමට විජාතික බලවේග යෙදූ උපක්‍රමය වූයේ ජාතිකත්වය පැත්තේ සිටි රජයේම ජාතිකත්වයට ලැදිබවක් ඇති අයෙකු ලවා ජාතික බලවේග වලට හිතවත් රජය දේශපාලනිකව ඇද වැට්ටවීමයි. ඊට ඉත්තෙකු වශයෙන් ඔවුන් සොයාගත්තේ ජාතිකත්වය තුල සිටි මෛත්‍රීපාල සිරිසේන මහතායි. 
                 

ජනාධිපති ධූර පොදු අපේක්ෂකයාව තරඟවැද ජයගත් පසු සිරිසේන මහතා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීය. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති සමග සිරිසේන මහතාට ගැටෙන්නට සිදුවන්නේ ඔහු සතුව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වයට නැඹුරු ප්‍රතිපත්ති නිසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වීම තුල මේ තත්වය තවත් තීව්‍ර වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති අතහැර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති තුලට යෑමටද නොහැක. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයවත් රනිල් වික්‍රමසිංහ මහතාවත් කිසි දින ජාතිකත්වයට හිතවත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරනය ජයගැනීමට එක්සත් ජාතික පක්ෂයේ චන්ද ප්‍රමාණය ලැබුණද එය ප්‍රමාණවත් නොවන බව මනාව පෙනෙන්නට තිබේ. උතුරු හා නැගෙනහිර සුළුතර වර්ගවාදී අභිලාශයන් මත ලබාදුන් අති විශාල චන්ද ප්‍රමාණය තීරනාත්මකව බලපෑවේ ඒ නිසයි. එහෙයින් බලන කළ සිරිසේන මහතාගේ ජයග්‍රහනය පසුපස සුළුතර වර්ගවාදී අපේක්ෂාද තිබෙන බව පැහැදිලි වේ. එසේ නොවේයැයි කවුරුන් හෝ කියන්නේනම් අප ඔවුන්ගෙන් අසන්නේ උතුරු නැගෙනහිර බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතාට චන්දය නොදී මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන්නේ ඇයිද යන්නයි. ඒ අන් කිසිවක් නිසා නොව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉටුකරගත නොහැකි බෙදුම්වාදී අරමුණු මෛත්‍රීපාල සිරිසේන  මහතාගෙන් ඉටුකරගත හැකියැයි බෙදුම්වාදීහු විශ්වාස කරන නිසාය. කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයටද පත්ව ඇති මේ මොහොතේ ඔහු විසින් ගතයුතුව ඇත්තේ ජාතිකත්වය හා ජාතික බලවේග වල පැත්ත මිස විජාතික බලවේග වල පැත්ත නොවේ.
                       

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හිමි වීම තුල මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු සදාචාරාත්මක හෝ පක්ෂය් ව්‍යවස්ථානුකූල හෝ අයිතියක් නැත. නමුත් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායයකයා අගමැති වශයෙන් පත්කර තිබේ. ඒ සිරිසේන මහතාගේ ජයග්‍රහනයට එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය සලකා විය හැක. අනෙකුත් පත්කළ මැති ඇමතිවරුද බොහොමයක් එක්සත් ජාතික පක්ෂ හා මුස්ලිම් කොන්ග්‍රස්  සාමාජිකයින්ය. මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරට සිංහල ජනතාව චන්දය ලබා දුන්නේ පැවති රජයේ දූෂණය වංචාව හා නාස්තිය ප්‍රතික්ෂේප කර යහ පාලනයක් ඇති කිරීමට මිස මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ ජාතිකත්වයට තිබුණු නැඹුරුව හෝ ජාතික බලවේග  ජනයා විසින් ප්‍රතික්ෂේප කළ නිසා නොවේ. මේ කරුනු නොදැන පඹගාලක පැටලෙන්නට යෑම අනුවන ක්‍රියාවකි. අපට අමතක කළ නොහැකි අනෙක් කාරනාව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී සිංහල බහුතරයක් වෙසෙන චන්ද කොට්ඨාශ වැඩි හරිය පරාජය වූ බවයි. එතැනදී මෙරට සිංහල චන්ද දායකයාගෙන් බහුතරය යහ පාලනය ප්‍රතික්ෂේප කළාදැයි ප්‍රශ්නයක්ද මතුවේ.  මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උතුරු හා නැගෙනහිර චන්ද පදනම සලකා එම පලාත්වල සුළුතර ජනකොටස් වල වැඩි දෙනා යහපාලනය පමණක් සලකමින් බෙදුම්වාදී අරමුනු වලින් තොරව චන්දය ලබාදුන් බව නිගමනය කිරීමටද නොහැක. අනෙක් අතට සිංහල චන්ද දායකයන්ගෙන් යම් කොටසක් යහපාලනය වෙනුවෙන් පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයේ දූෂිත හා නාස්තිකාර බව ප්‍රතික්ෂේප කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය ලබාදුන්නද ඒ පිරිස රටේ ජාතික බලවේග වලට එරෙහිව එම කාර්‍ය කළා යැයි සිතිය නොහැක. විජාතික බලවේග සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටියදීත් යහ පාලනයක් වෙනුවෙන් වෙනසක් කිරීමට ඉදිරිපත් වූ සිංහල චන්ද දායකයා ජාතිකත්වය ප්‍රතික්ෂේප කර නැත. එබැවින් සිරිසේන මහතා දැන් ඇතිකළයුත්තේ ජාතික බලවේග වලට හා ජාතිකත්වයට හිතවත් යහ පාලනයක් ගෙන යෑම මිස විජාතික යහපාලනයක් ගෙන යෑම නොවේ. 
                       

ලිංගිකත්වය අනුව සමාජ පසුබිම සැලකිල්ලට ගැනීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ විෂමලිංගික පීතෘමූලිකත්වයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමාරතුන්ග මංගල සමරවීර යන අයත් එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය කරන්නේ ලිංගික බහුරූපී කාන්තා විමුක්තිවාදී බටහිර නූතනත්වයේ ව්‍යාකූල ආකෘතියකි. රටේ සමාජ පසුබිම සැලකීමේදීද අපේ රට බටහිර නූතනත්වයේ ආකෘතිය තුලට කිසිවිට ගෙනයා නොහැක. එමෙන්ම සංවර්ධන මිම්මත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් ගෙඩි පිටින් රටට ගැලපිය නොහැකි වේ. ලිංගිකත්වය සැලකීමේදී අප රටේ කිසි විට සමලිංගිකත්වයටත් ඒ ආශ්‍රිත ව්‍යාකූලතාවයන්ටත් පිළිගැනීමක් ඇති කළ නොහැකිය. ඒ අනුව බලන කළ එක්සත් ජාතික පක්ෂයද ලිංගිකත්වය හා සමාජය පිළිබඳව එහි බටහිර ලිබරල් නූතනවාදී ප්‍රතිපත්ති ගෙනයන්නේ අප්‍රසිද්ධියේ වන අතර රටේ ජනයාට ප්‍රසිද්ධියේ හෙලිකරමින් නොවන බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම සාධක සැලකිල්ලට ගැනීමේදීද මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය මෙන්ම චන්ද්‍රිකා කුමාරතුන්ග සමග පෑහීමටද නොහැකිය. මේ පැහැදිලි සත්‍ය සිරිසේන මහතා විසින් තේරුම්ගත යුතුව තිබේ. එසේ නොමැතිව තමන්ට බලයට ඒමට සහය දුන් එක්සත් ජාතික පක්ෂ සාධකය පමණක් සලකා එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙන ආකාරයට කටයුතු කිරීම අනුවනකමකි. එක්සත් ජාතික පක්ෂයට මේ වනවිටත් රටේ හරිහමන් චන්ද පදනමක් නොමැත. ජාතික බලවේග ඇතුළු රටට ආවේනික අදහස් ඇති ප්‍රගතිශීලීන් රැසක් සිටින්නේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද හිමි වී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා විජාතික බලවේග වල ගැත්තන් වූ එක්සත් ජාතික පක්ෂ එන්.ජී.ඕ ඊලාම්වාදී හා මුස්ලිම් වර්ගවාදී අශුද්ධ සන්ධානයකට නායකත්වය දීම පසෙකලා සැබෑ දෑහිතකාමීන්ට නායකත්වය දියයුත්තේ ඒ නිසයි. 
                      
  පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා ජාතික විජාතික අරමුණු ගැන සන්සන්දනාත්මකව යමක් කීමද වැදගත් යැයි සිතේ. පළමුව කිවයුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පෙරලා දමා චන්ද ජයගත නොහැකි  විජාතික ගැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදෙන පොදු අපේක්ෂකයා දිනවීමට ලොකුම උවමනාව තිබුණේ, විදේශ තානාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන ඊලාම්වාදී බෙදුම්වාදීන් මුස්ලිම් වර්ගවාදීන් කුරුස ආගමික නිකායන් ව්‍යාප්ත කරන්නන් සමලිංගික කාන්තා විමුක්තිවාදී කල්ලි ඇතුළු අශුද්ධ පිටස්තර විජාතික බලවේග එකතුවට යන්නයි. මේ අශුද්ධ සන්ධානයට එරෙහිව ජාතික බලවේග සියල්ල මහින්ද රාජපක්ෂ මහතා සමග නිදහස් සන්ධාන රජය වටා එක් රොක් විය.  විජාතික නඩයේ එක් එක් කොටස් වලට ඇත්තේ එක් එක් අභිලාශයන්ය. බටහිර තානාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන හා ඔවුන්ගේ මූලස්ථාන වන බටහිර අධිරාජ්‍යවාදී රටවල් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට හිතවත් රජයක් රටේ ස්ථාපිත කර ඔවුන්ගේ සේවකයින් වූ දෙමළ ඊලාම්වාදීන් සමග ඔවුන්ගේ අනදීම් වලට අනුව රටේ ඉදිරි ගමන තීන්දු කිරීමයි. ඊලාම්වාදීන්ට උවමනා වී තිබෙන්නේ ඊලම පිහිටුවීම වේ. නැගෙනහිර මුස්ලිම් වර්ගවාදීන් ඔවුන්ට වෙන්වූ පරිපාලන කලාපයක් පිළිබඳව සිහින දකිති. කුරුස ආගමික කල්ලි වල ආගම් පතුරුවන්නන්ට මේ රට දේව රාජ්‍යක් කිරීමට අවශ්‍යය. සමලිංගික කාන්තාවිමුක්ති කල්ලි වලට මෙරට ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම නැතිකර පවුල් සංස්ථාව විනාශ කිරීමටත් විෂමලිංගික පීතෘමූලිකත්වය කෙරෙහි වෛරය වපුරා සමලිංගිකත්වය පිළිගත් ලිංගික බහුරූපී කාන්තා විමුක්තිය බලගැන්වෙන ව්‍යාකූල සමාජයක් මෙරට ස්ථාපිත කිරීමටත් දැඩි අවශ්‍යතාවයක් තිබේ. ජාතික බලවේග නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය සනසමින් මේ විජාතික අරමුණු සමග එකට සිටිය හැකිද? පැහැදිලිව එසේ කළ නොහැක. සිරිසේන මහතාට නියෝජනය කිරීමට සිදුවන්නේ රටේ ජාතික බලවේග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

         
  එක්සත් ජාතික පක්ෂයත් චන්ද්‍රිකාත් ඇතුළු විජාතික නඩය සමග දීග කෑමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා චන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් තේරුම්ගතයුතු විශේෂ කාරනයක් ඇත. ඒ මින් පෙරද පෙන්වා දුන් ආකාරයට ඊලාම්වාදීන් මුස්ලිම් වර්ගවාදීන් සමග එක්සත් ජාතික පක්ෂයත් චන්ද්‍රිකාත් එක්වුනු පොදු අපේක්ෂක චන්ද ව්‍යාපාරයට සිංහලයන්ගෙන් යම් පිරිසක් හෝ චන්දය ලබා දුන්නේ රජයේ දූෂණ හා නාස්තියට එරෙහිව මිස ජාතික බලවේග වලට එරෙහිව නොවන බවයි.සිංහල චන්ද දායකයින් විශාල පිරිසක් චම්පික හා රතන හිමිත් සරත් ෆොන්සේකා මහතාත් කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා තිබෙන බවත් අමතක කළ නොහැකි කාරනාවකි. එමෙන්ම චන්ද ප්‍රතිඵලය අනුව මෙරට බහුතරයක් සුළුතර වර්ගවාදී අරමුණු අනුමත කර ඇති බව නිගමනය කළ නොහැක. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් චන්ද්‍රිකා කුමාරතුන්ගත් චන්ද ප්‍රතිඵලයට වැරදි අර්ථ නිරූපන දෙමින් ඒත්තුගන්වන්නට යනු ඇත්තේ මෙරට බහුතර ජනයා ඊනියා ජාතිවාදය ප්‍රතික්ෂේප කර සුළුතර ජනකොටස්වල ස්වයංනීර්න අයිතීන් පිළිගෙන ඇති බවකි. නමුත් එවැනි බොරු මවාපෑම් මෛත්‍රීපාල සිරිසේන මහතා වහා තේරුම්ගතයුතුව තිබේ. රනිල් චන්ද්‍රිකා එන්.ජී.ඕ ඇතුළු සුළුතර වර්ගවාදී විජාතික බලවේග වල පදයට සිරිසේන මහතා නැටියයුතු නැත. අනෙක නම් විධායක ජනාධිපති බලතල අහෝසි කරන්නට කියා මෙරට බහුතරයක් ඉල්ලාද නැති හෙයින් එවැන්නක් කිරීමද සුළුතර වර්ගවාදීන් සනසන පොදුවේ රටට අහිතකර දෙයකි. මහින්ද රාජපක්ෂ මහතා සියළු ජාතික අරමුණු ඉටු කිරීමට අපොහොසත් වුවත් කොටි ත්‍රස්තවාදය පරදවා ජාතිකත්වයට හිතවත් ගමනකට අඩිතාලම දමමින් කිසිදා අමතක නොවන ජාතික විරුවෙකු බවට පත් වී හමාරය. මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉහ මොළයක් ඇත්නම් කළයුත්තේ බෙදුම්වාදීන් හා විජාතික බලවේග ප්‍රතික්ෂේප කරමින් ජාතිකත්වය තුලට යෑමයි. එසේ නොකොට විජාතික බලවේග සනසා ජාතියට කොකා පෙන්වන මර්ගයක යන්නට ගියහොත් සිරිසේන මහතාට සිදුවන්නේ රටේ බහුතරයකට ද්‍රෝහී වූ කුප්‍රකට චරිතයක් ලෙස ඉතිහාසගත වීමටය. 

4 comments:

  1. මෛත්‍රීපාල මහතාට එසේ තෝරා ගැනීමේ ඉඩ කඩක් තිබෙයි දැයි සැක සහිතයි.ඇත්ත වශයෙන්ම ඔහුව ජනපති කරේ එක්සත් ජාතික පක්ශය යි. අපියි ඔයා පත් කරේ කියා උදේ හවස කුල කියන එක්සත් ජාතික පක්ශය කියන දෙය ට අවනත වනු හැර ඔහුට වෙනත් විකල්පයක් නැත.
    අනිත් අතට ඔහු යූ ඇන් පී හා එකතුව මහින්ද ප්‍රමුඛ ජාතික බලවේග පැරදූවා යයි පොදු ජනයා ගේ හිතේ ඇති කහට මොන සර්ෆ් එක්සෙල් දැමූවත් නොයන තත්ත්වයක් තුල ශ්‍රීලනිප චන්ද දායකයා ඔහුට ලං වන්නේත් නැත.
    ඔහු පා තබන්නේ රනිල් අදින නූලටය.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල රනිලුත් එක්ක එකතු වෙලා විජාතික ගමනක් ගියොත් ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ප්‍රතික්ෂේප වෙනවා. ඔහු ගාගත්තු කහට පැල්ලම යවන්නනම් දැන් බෑ. කොහොමත් දැන් මහින්ද පෙරටත් වඩා ශක්තිමත් වී හමාරයි. රනිල්ගේ පැත්තටම මෛත්‍රී හේත්තු වීම යනු ඔහුගේ දේශපාලනය කෙළවර කරගැනීමක් නැත්නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනාගතය නැතිකිරීමක්. ඔය දෙකම නැත්නම් මෛත්‍රීපාලට තියෙන්නේ නම්බුකාර විදිහට බොරු බයිල ගහන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයටම ගිහිල්ලා ඒකේ සාමාජිකත්වය ගන්න එක. එතකොට රටට හිතවත් බහුතරයට හරි තීන්දුවක් ගන්නත් ලේසියි.

      Delete
  2. මේකනම් නොපෑහෙන දීගයක්ම තමයි දැනටම ඔප්පු වෙලා

    ReplyDelete
    Replies
    1. කොච්චර කල් දීගේ තියෙයිද කියන එක තමයි ප්‍රශ්නේ

      Delete