Sunday, February 22, 2015

ඇතිවූ ජාතික ප්‍රබෝධය ජාතික මතවාද වලින් ශක්තිමත් කරමු


පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවද එම ප්‍රතිඵලයේ ස්වරූපය අප කවුරුත් මෙන්ම මුළු රටම තේරුම්ගෙන හමාරය. මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහල බහුතරයක් වෙසෙන චන්ද කොට්ඨාශ වලින් බහුතරයක් පරාද වෙද්දී ඔහුගේ ජය තහවරු කර දුන්නේ උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් වර්ගවාදී බෙදුම්වාදීන්ගේ චන්ද ප්‍රමාණයයි. සිංහලයන් මහින්දට චන්දය දුන් පිරිසට සාපේක්ෂව අඩු පිරිසක් සිරිසේන මහතාට චන්දය දෙන අතරේම උතුරු හා නැගෙනහිර දෙමළ මුස්ලිම් වර්ගවාදී චන්ද බහුතරයක්ද ගෙඩි පිටින් සිරිසේන මහතාටම ලැබුණි. ඔහුට චන්දය දුන් සිංහල චන්ද දායකයා යහපාලන ප්‍රෝඩාව වැලඳගත්තද වර්ගවාදී බෙදුම්වාදීන් පිරිස සිරිසේන මහතාගෙන් බලාපොරොත්තු වූයේ යහපාලනය නොවේ. එය කුමක්දැයි කියන්නට වචන නාස්ති කරන්නට අවශ්‍ය නැත.
                           ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුවද එසේ ලැබුවේ පරාජයක් නොව තාවකාලික පසුබෑමක් පමණක් බව දැන් තහවරු වී තිබේ. පසු ගිය ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා ලක්ෂ ගණනක අති විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසා බැලීමට එතුමාගේ ගම් ප්‍රදේශයට ගොස් ඇති බව දැනගන්නට ඇත. එතුමාට එරෙහිව චන්දය දුන් බොහෝ සිංහල බෞද්ධයන් අද කණගාටුවට පත්ව ඇති බවක්ද පෙනේ. සන්ධාන රජයේ දූෂණ වංචා හා මුදල් නාස්තිය ප්‍රතික්ෂේප කළද බහුතරයක් දෙනා මහීන්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හෝ ඒ මහතා නායකත්වය දුන් ජාතික බලවේග ප්‍රතික්ෂේප කර නැති බව පැහැදිලිය. පසුගිය පෙබරවාරි 18 වනදා නුගේගොඩට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් රැස්ව එක හඬින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය නැවතත් ඉල්ලා හිටීම මේ බව හොඳින්ම තහවරු කරයි. ප්‍රශ්න වලින් බැට කා නැගිටීමේදී මහින්ද රාජපක්ෂ මහතාටද ඉගෙනගැනීමට බොහෝ පාඩම් තිබෙන බව එතුමාද දැන් සිහියට ගත යුතුය. බලයේ සිටි සමය තුල පාක්ෂිකයන් හා අවස්ථාවාදී දූෂිතයන් කළ වැරදි සියල්ලත්, මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ අය අතින් සිදු වූ අඩුපාඩුත් රාජපක්ෂ මහතාගේ පරාජයට පැහැදිලිව වගකිවයුතු වේ. දැන් තිබෙන්නේ එම අඩුපාඩු මගහරවා ගනිමින් පසුගිය කාලයේ කළ වැරදි නිවැරදි කරගෙන ජාතික බලවේග හා එක් වී නව දේශපාලන ගමනකට රාජපක්ෂ මහතා මුලපුරන එකය.
             

පසුගිය දුර්වලකම් හදාගෙන වැරදි නිවැරදි කරගැනීමේ ක්‍රියාදාමයකදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය කෙරෙහි සැලකියයුතු පිරිසක් කලකිරුනු ආකාරය හා ඊට අදාල පසුබිම් සාධක සොයාබැලීමද ඉතා වැදගත් යැයි අප සිතමු. මින් පෙරත් අප සඳහන් කර ඇති ආකාරයට කොටි ත්‍රස්තවාදය පරදවා බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ යුධ පෙරමුණ විනාශ කළ පසු ඉතිරි කඩයිම් දෙක පැන ජාතිය සුරක්ෂිත කිරීම වෙනුවට බල ලෝභී ධනයට කෑදර රටට ආදරයක් නැති කපටි දේශපාලුවන්ට යකා නටන්නට ඉඩ දී රට නොඉල්ලූ නාස්තිකාර බොරු සංවර්ධන ව්‍යාපෘති බදාගැනීම මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රධාන වරදකි. මහින්ද රාජපක්ෂ මහතා සිය සොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ අදූරදර්ශී ඒකාධිකාරී ජාතික ධනය නැති නාස්ති කරමින් හොරුන් පෝශනය කරන වැඩපිළිවෙල හමුවේ ඔහු පාලනය නොකර නිකම් බලා සිටීමද මතක්කරදියයුතුම කාරනාවකි. එය මෙරට මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් බොහෝ දෙනාද පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ දෙයකි. ඉදිරි දේශපාලනයේදී මහින්ද රාජපක්ෂ මහතා නැවත නොකළයුත්තේ මෙවැනි දේය.
                           මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට කැප වී ක්‍රියා කළේ මේ රටට ආවේනික ලෙස සිතන පතන රටට ආවේනික මතවාද ඇත්තවුන් බහුතරයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුල සුරක්ෂිත ඉදිරි ගමනක් බලාපොරොත්තු වන්නේ මේ පිරිසයි. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා රටේ ගහකොළ හඳුනන සමාජය හඳුනන පොළවේ පයගැසූ ඒ ජනතාවගේ සිතුම් පැතුම් පළමුව හඳුනාගත යුතුව ඇත. රටට ආවේනික ලෙස සිතන පතන බහුතරයක් යුධ ජයග්‍රහනයෙන් පසු බලාපොරොත්තු වූයේ දෙමළ නිජ බූමී සංකල්පය සමග ඊලාම් බෙදුම්වාදයද මුලිනුපුටා දමා රටට ගැලපෙන අදහස් ඇති පිරිස රටේ ඉදිරිගමන තීරනය කරන තීරක බලවේගය බවට පත්කරගෙන රටට ආවේනික ගමනක් යයි කියාය. නමුත් එම ජාතික අරමුණු ඉටු වීමට පෙර රජය මෙරට දේශපාලනයට කලක සිට හුරු වී තිබෙන ජාතික ධනය කොල්ලකමින් ගෙනයන දූෂිත පාලනයට ඉඩකඩ විවර කළේ ජතික අරමුණු ඉටුවේයැයි බලාපොරොත්තු වූ සියළු දෙනාගේ අපේක්ෂා සුන් කරමිනි. එතැන් සිට සිදු වූයේ ජාතික අරමුණු ඉටු වීම කෙසේවෙතත් ජාතික ධනය දේශපාලුවන් පිල්ලි ගැසීම හා නාස්තිකාර සංවර්ධන ව්‍යාපෘති හරහා මුදල් නාස්තියක් වන අතරම විජාතික මතවාද ශක්තිමත් වී ජාතික මතවාද පසුබෑමයි.
            
දූෂණ වංචා නාස්තිය  සාධක වලට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හා සන්ධාන රජය කෙරෙහි ජනතා අප්‍රසාධයක් ඇතිකළ තවත් කාරනා ඇත. ඉන් එකක්නම් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයා අතර රාජපක්ෂ රජය කෙරෙහි අප්‍රසාදය ගොඩනැගූ දෙයක් වේ. ඒ මහින්ද රාජපක්ෂ මහතා සුළුතර වර්ගවාදී ක්‍රියා හමුවේ ඇල්මැරුනු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. විශේෂයෙන් මුස්ලිම් වර්ගවාදීන් හමුවේ ඔවුන්ට යම් බුරුලක් දැක්වීම ප්‍රධාන දෙයකි. මුස්ලිම් කොන්ග්‍රස් නායකයාට අධිකරණ ඇමතිකම පවා ලබාදී තිබුණු කාලයේ නීති විද්‍යාලයට සිසුන් ඇතුල් කළ ආකාරය අපට මතකය. මේ එක් උදාහරනයක් පමණි. දැවැන්ත මුස්ලිම් පල්ලි හැදීමට අවසර දීම, මුස්ලිමුන් තම අත්තනෝමතික ක්‍රියාකාරකම් දැඩිව කරගෙන යද්දී ඊට එරෙහි වූ සිංහලයන්ට නීතියෙන්ද අකටයුතුකම් සිදුවීම ආදී තවත් බොහෝ දේ සිදුවිය. ඊලාම්වාදීන්ගේ උවමනාව උතුරේ සිංහලයන් නැවත පදිංචි කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වීමද ජාතික අරමුණු වලට පටහැනි විය. පරිසර හිතකාමී නොවන රටටත් නොගැලපෙන දැවැන්ත සංවර්ධන සංවර්ධන ක්‍රියා වලට සමගාමීව විජාතික මතවාදද යම් මට්ටමකට හිස ඔසවා තිබුණි. මේ විජාතික මතවාද බොහොමයක් බටහිර නූතනත්වයට සමගාමී  විය. ඵලදායීතාවය වැඩි කරගැනීමට යැයි කියමින් කාන්තාවන්ට නොගැලපෙන අංශ වලට පවා කාන්තාවන් අනුයුක්ත කිරීම හා කේන්ද්‍ර සහකාර නමින් අමාත්‍යංශ වල තනතුරක් පිහිටුවා බටහිර කාන්තා විමුක්තිවාදී න්‍යායපත්‍ර අනුව වැඩසටහන් දියත් කිරීමද මෙරට ජාතික මතවාද වලට සපුරා පටහැනිය.
                    ජාතික අරමුණු කාරා යෑමටත් ජාතික මතවාද බලගැන්වීමටත් ප්‍රධාන බාධකයක් ලෙස තිබෙන්නේ යටත් විජිතවාදයෙන් පසුවටත් බටහිර අනුකරනවාදී කළු සුද්දන්ගේ පරම්පරාව මෙරට ඉදිරිගමන තීරනය කරන තීරක බලවේගය බවට පත්වී තිබීමයි. මේ පරම්පරාව බටහිර මතවාද වලට අනුව  හා අධිරාජ්‍යවාදී උවමනා එපාකම් මත කලක් තිස්සේ මෙරට ජනයාගේ මොළ සෝදා විවිධාකාර මානසික අධි ශික්ෂණයන්ට යට කර තිබෙන බව අප මුලින් තේරුම් ගතයුතුව ඇත. ලංකාවේ ජාතික අනන්‍යතාවය සැලකීමේදී මේ රට රටක් ලෙස බිහිකරමින් ලෝකය ඉදිරියේ ජාතිකත්වය ගොඩනගා තිබෙන්නේ සිංහල ජාතිය විසින් බව පැහැදිලිව පෙනෙන සත්‍ය කාරනාවකි. 1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින් වෙත පවරා දුන් මේ රටේ රාජ්‍යත්වය  සංකේතවත් කරමින් පාලනය ගෙන ගියේද මහනුවර රාජධානිය කේන්ද්‍ර කරගෙනය. ඉංග්‍රීසින්ට පෙර මෙරටට පැමිණ සිටි ලන්දේසින් විසින් දුම්කොළ වැවීම සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා උතුරු හා නැගෙනහිර පලාත් වල පදිංචි කරවූ දෙමළ කම්කරුවන්ට පසු කාලීනව ඉංග්‍රීසින් විසින් විවිධ වරප්‍රසාද ලබා දී පෝශනය කර තිබුණේ කෙදිනක හෝ රටේ පාලනය ඔවුන් වෙත පවරා දීමටද අදහස් කරගෙන බව කිවයුතු අමුතු කාරනාවක් නොවේ. යටත්විජිතවාදයෙන් නාමිකව ගැලවුනද එතැන් සිට පවා සිංහල ජාතියට මෙරට රාජ්‍යත්වය හා ජාතිකත්වය නිසි ලෙස සනිටුහන් කිරීමට ඉඩ නොදෙන ප්‍රධාන බලවේගය බවට පත්වී සිටින්නේ අධිරාජ්‍යවාදී වරප්‍රසාද යටතේ ජීවත් වූ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රභූ පැලැන්තියයි. මේ ඇත්ත තත්වය කෙලින් කීමට ඉඩ නොදෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේම සෙවනේ හැදී වැඩුනු බටහිර අනුකාරක සිංහල පැලැන්තියවේ. එසේ ඇත්ත කෙලින් කතා කිරීම ඔවුන්ට අනුව ජාතික සමගියට බාධාවකි. සුළුතර වර්ගවාදයන් හමුවේ ඊට විරුද්ධ නොවී සිටීම ජාතික සමගියේ නාමයෙන් කිරීමට අනුබල දෙන මානසික අධිශික්ෂණය ඇතිකර තිබෙන්නේ සිංහලවත් හරියට බැරි මේ බටහිර අනුකාරකයින්ය. මේ තත්වයෙන් ගැලවීමම අද දවසේ ප්‍රධාන ජාතික කර්තව්‍යක් වී තිබේ.
                              

    
මහින්දගේ නායකත්වය නැවත ඉල්ලමින් නුගේගොඩින් පැනනැගුනු ජාතික ප්‍රබෝධය අද සැබෑ ජාතික අරගලයක් බවට මතවාදීවම පත්කළයුතුව ඇත. ඒ සඳහා මේ ජාතික ප්‍රබෝධය සැබෑ ජාතික මතවාද වලින් සන්නද්ධ කළයුතු වේ. එහි මුල් පියවර ලෙස කළු සුද්දන්ගේ හා අධිරාජ්‍ය වහලුන් වන ඊලාම්වාදීන්ගේ බොරු ජාතික සමගිය එක හඬින් ප්‍රතික්ෂේප කළයුතුය. එසේ කළා කියා කිසිවිට අප දෙමළ ජන වර්ගයට එරෙහි ඔවුන්ගේ සංස්කෘතියත් ආගමික පරිසරයත් පිළිකුල්කරන ඔවුන් මේ රටේත් නොසිටියයුතු යැයි කියන පිරිසක් වන්නේ නැත. මේ කතාව දැන් තියාම කීවේ බටහිර අනුකාරක කළු සුද්දන් හා ඔවුන්ගේ මතවාද කරපින්නාගත්තවුන් ඊලාම්වාදය ප්‍රතික්ෂේප කරමින් රටේ ජාතිකත්වය හා රාජ්‍යත්වය ශක්තිමත් කළයුතු බව අප කීවිට අප ජාතිවාදීන් ලෙස හඳුන්වන්නට සැදී පැහැදී ඇති බැවින්ය. මූලික වශයෙන්ම මේ අනුකාරක අධිරාජ්‍ය ගැත්තන්ගේ බේගල් විශ්වාස කරන මානසික අධිශික්ෂණය අප විසින් බිඳදැමිය යුතුමය. ඒසඳහා අපට ශක්තියක් තිබිය යුතු වේ. ඒ ශක්තිය අපට ලබාදීමටනම් රටට ගැලපෙන අදහස් ඇති අයෙක් අපගේ ජාතික ගමනට නායකත්වය ලබා දියයුතුව ඇත. මහින්ද රාජපක්ෂ මහතාගෙන් නැවත වරක් අප බලාපොරොත්තු වන්නේ එයයි.
                                  මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් වර්ගවාදීන්ටද කිසිසේත්ම හිස නැමීමේ අවශ්‍යතාවයක්ද නැත. ඔවුන් හුරතල් කරන්නට ගොස් ඉගෙනගත් පාඩම සිහිතබාගැනීම ඊට වඩා වැදගත් වෙ. මහින්ද රාජපක්ෂ මහතා දැන් ඇහුම්කන් දියයුත්තේ මේ රටට ආවේනික ලෙස සිතන පතන ජාතිකත්වය තුල සැබෑ ලෙස සිටින පිරිසටය. ඒ පිරිසගේ සිතුම්පැතුම් ඉටුවන ආකාරයට ඒ මහතා තම දේශපාලන ගමන වෙනස් කරගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතාට යුධ ජයග්‍රහනයෙන් පසුවට  වැරදුනේද ඒ ටික නොකිරීමෙන්ය. නාගරික පොෂ් මෝඩ තරුණයන් සැනසීමට යෑම නිශ්පල ක්‍රියාවකි. ඒ ඔවුන් මහින්ද ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාද වලට වඩා රනිල්ගේ එක්සත් ජාතික පක්ෂ මතවාද වලට කිට්ටු බවක් පෙන්වන හෙයින්ය. රාජපක්ෂ මහතා ඔවුන්ගේ සිතු පැතුම් වලට අනුව බටහිර ආකෘතියට යන සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ගියොත් අවසානයට සිදුවන්නේ බොරු සෝබනය අදහන නාගරික තරුන පිරිස මහින්දට වඩා හොඳින් රනිල්ගෙන් තම සිතුම් පැතුම් ඉටුකරවාගැනීමට හැකි බව දන්නා නිසා සියල්ල අමතක කර තමන්ට සුපුරුදු හා වඩා හිතවත් එක්සත් ජාතික පක්ෂය වෙත ලං වීමයි. මහින්ද රාජපක්ෂ මහතා තරුණයන් ලෙස ඉදිරියට ගත යුත්තේ ගස් ගල් එක්ක හැප්පෙමින් ගමේ පරිසරය හඳුනාගත් රටට ගැලපෙන අදහස් ඇති ග්‍රාමීය තරුණ පිරිසයි.
                  
මහින්ද රාජපක්ෂ මහතා දැන් සිටම සැලසුම් කළයුත්තේ බටහිර නූතනත්වයට අනුව යන සංවර්ධන ආකෘතියකට රට ඉදිරියට ගෙනයෑමට නොවේ. ඒ වෙනුවට රාජපක්ෂ මහතා දැන්සිට රටට ආවේනික මතවාද ඇති පිරිසගෙන් උපදෙස් ලබාගෙන බටහිර යුදෙවු අනාගමික නූතනත්වයෙන් බැහැර අපට ආවේනික ප්‍රගතිශීලී මාවතක් තෝරාගෙන සිටියයුතුය. ඒ මහතාට බටහිර බේගල් මතවාද හා දේශීය චින්තනය මත පදන්ම් වන ජාතික මතවාද අතර අතරමං වීමට අවශ්‍ය නැත. මක් නිසාද යත් දැන් සියළු අගතිගාමින් විජාතික බලවේග සමගම තම විරුද්ධවාදීන්ගේ ගොඩට එක් වී තමන්ගේ පිළ ශක්තිමත් හා පිරිසිදු වී ඇති නිසයි. බටහිර සමාජයද මළකඳක් කළ ලිබරල් වාදය මාක්ස්වාදය පස්චාත් නූතනවාදය ආදිය අපේ රට පැත්ත පලාතක වාද්දාගතයුතු නූවේ. එලෙසම අපේ රටින්ම මුලිනුදුරා දැමියයුතු ව්‍යාධිජනක මතවාදයක් වන්නේ බටහිර කාන්තා විමුක්තිවාදයයි. බටහිර සමාජය ලිංගිකව ව්‍යාකූල කරමින් ලෙඩ කළ මේ විෂබීජය අපේ රටට බෝකළේ එක්සත් ජාතික පක්ෂය හා චන්ද්‍රිකායි. අපට තවත් මේ කිසිවක් අවශ්‍ය නැත. මෙරට කාන්තා සමාජය නියෝජනය කරන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව සිරුරෙන් පමණක් නොව මනසින්ද හැඩගැසී ඇති කාන්තා පරපුර මිස බටහිර නූතනත්වයේ මතවාදී වහලුන් විසින් පුම්බා වීරත්වයට නගන පුරුෂ ලිංගිකත්වය පවා අනුකරනය කරන කිසිම ස්ත්‍රී හැඩගැස්මක් නැති බොරු වීරවරියන් නොවේ. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා රටට ගැලපෙන අදහස් ඇති කාන්තාවන්ට ඇහුම්කන්දෙමින් පෙර මෙන් කාන්තාවන්ට නොගැලපෙන හැම දේටම කාන්තාවන් ඇතුල් කරමින් බටහිර නූතනත්වය අනුගමනය කිරීමද නොකළයුතුය. සමලිංගිකත්වය පිළිගත් බටහිර රටවල ක්‍රියාත්මක එවැනිදේ පක්ෂ පාට කුමක් වුවත් අපේ රටටම පිළිකුල් බැවින් කිසිවිට නොකළයුතුය.
                       
   අවසානයට නැවතත් මතක් කරන්නට තිබෙන්නේ යුධ ජයග්‍රහනයෙන් පසුව අප ජාතියක් ලෙස ජයගත යුතු අනෙක් අභියෝග මොනවාද යන්නයි. මුලින් කීවාක් මෙන් අප ඊලාම්වාදය දෙමළ නිජභූමි සංකල්පය සමගම න්‍යායාත්මකව හා මතවාදීවම පරාජය කළයුතුය. බටහිර අනුකාරකයින්ගේ බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයෙන් ගැලවියයුතුයැයි අප කියන්නේ ඒ කර්තව්‍ය සඳහාය. ඉන් පසුවට ඇත්තේ රටට ආවේනික ලෙස සිතන පතන ජාතිකත්වයට ලැදි පිරිස රටේ තීරක බලවේගය බවට පත්කරගනිමින් අපට ආවේනික ඉදිරි ගමනකට අවතීර්න වීමයි. මේ සියල්ල කිරීමේදී කිසිවිට බඩගෝස්තරවාදීන් අවස්ථාවාදී වංචනිකයින් රටේ ජාතික ධනය කාබාසිනියා කිරීම පමණක් අරමුණු කරගත් කපටි දේශපාලුවන් අහලකටවත් ගාවා නොගතයුතුය. මේ වසරේ ජනවාරි 8 ලැබූ පරාජය තාවකාලික පසුබෑමක් ලෙස පමණක් සලකා එයින්ම පන්නරය ලබමින් පසුගිය වැරදි නිවැරදි කරගත්තාවූ පිරිසිදු දේශපාලන ගමනක් යන්නට රාජපක්ෂ මහතාට දැන් අවස්ථාව උදා වී ඇත.

12 comments:

  1. Replies
    1. ස්තුතියි පමිණියට

      Delete
  2. //ප්‍රශ්න වලින් බැට කා නැගිටීමේදී මහින්ද රාජපක්ෂ මහතාටද ඉගෙනගැනීමට බොහෝ පාඩම් තිබෙන බව එතුමාද දැන් සිහියට ගත යුතුය. බලයේ සිටි සමය තුල පාක්ෂිකයන් හා අවස්ථාවාදී දූෂිතයන් කළ වැරදි සියල්ලත්, මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ අය අතින් සිදු වූ අඩුපාඩුත් රාජපක්ෂ මහතාගේ පරාජයට පැහැදිලිව වගකිවයුතු වේ. දැන් තිබෙන්නේ එම අඩුපාඩු මගහරවා ගනිමින් පසුගිය කාලයේ කළ වැරදි නිවැරදි කරගෙන ජාතික බලවේග හා එක් වී නව දේශපාලන ගමනකට රාජපක්ෂ මහතා මුලපුරන එකය.// +++++++++++++

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වියයුතු දෙයක් මම පෙන්වාදුන්නේ මේ ජාතික ප්‍රබෝධය අර්ථවත් වෙන්නනම්

      Delete
  3. මේ ලිපියේ තියෙන දේවල් ඒ විදිහටම වෙනවනම් ලොකු දෙයක්. ඒත් මට පොඩි සැකයක් මතුවෙනවා දැන් මහින්ද විරෝධීන් ඔහුගෙන් පලිගැනීම වඩා වේගවත් කර ඇති නිසා මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. මහින්ද ජයගත්තොත් ප්‍රශ්නයක් නෑ. මහින්දව දේශපාලනයෙන්ම ඉවත් කරන්න ගියොත් වෙන හරියනම් භයානකයි. කොහොම උනත් දැන් තියෙන තත්වය ලේසි නෑ අතිශය තීරනාත්මකයි.

      Delete
  4. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මහින්ද 2010 න් පස්සෙ ලංකරගත්තෙ ඉතාම අනවශ්‍ය පිරිසක්. ඊට හේතුව ඔහුවටා සිටි සමහරුන්ගෙ උපදෙස් වෙන්න ඇති. මහින්ද හැර ඉතිරි සියළුම දෙනා මේ රටේ ජනතාව, සංස්කෘතිය නියෝජනය කළ අය නොවේ.ඔවුන්ගෙන් සමහරු යූඇන්පියෙන් ආපු අය.
    මේ නිසා ජාතික මතය දරන අයත් අසරන වුනා මහින්ද වෙනුවෙන් කතා කරන විට
    තව එකක් මහින්ද මතම ජාතික ව්‍යාපාරය කොටු විය යුතුද
    මේ යන විදියට ජාතික ව්‍යාපාරයේ අවසානයයි.

    ReplyDelete
  5. මහින්ද මතම ජාතික ව්‍යාපාරය කොටු වියයුතු නෑ. නමුත් හරි ජාතික නායකයෙක් බිහිකරගන්නා තුරු මහින්දගේ නායකත්වය හා ආරක්ෂාව ජාතික ව්‍යාපාරයට අවශ්‍ය වෙයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

    ReplyDelete
  6. හොඳ ලිපියකි. එකඟයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙහි පැමිණ ලිපිය කියවා අදහස් ඉදිරිපත් කළාට.

      Delete
  7. ජයවේවා! යහපාලන කට්ටිය උන විකාරෙන් තවමත් ඉමේජ් වල කොටු ගහ ගහ ඩොට් තිය තියා හිතේ අමාරුව යන්න ආපු සෙනග 5000ට අඩු ගානක් කරන්න ට්‍රයි එක දෙනවා පවු.

    ReplyDelete
  8. Thanks for visiting our page and commenting

    ReplyDelete