Monday, January 5, 2015

මහින්දට 3න් වරක් අකැපද? එහෙනම් මෙන්න උත්තරේ.


1978 ජේ ආර් ජයවර්ධන මහතා විසින් 5/6 ක බහුතර අනුමැතිය අනුව සකස් කළ ව්‍යවස්ථාව තුලින් මෙරට පාලන තන්ත්‍රය තුල විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත කරන ලදි. ඉන් අනතුරුව මෙරට මුල්ම විධායක ජනාධිපතිවරයා බවට පත්වූයේද ජේ ආර් ජයවර්ධන මහතායි. එවකට ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුරය දරන පුද්ගලයාට දෙවතාවකට වඩා එම තනතුර දැරීමට නොහැකි අතර දෙවතාවකට වඩා එම ධූරය වෙනුවෙන් චන්දය ඉල්ලීමටද නොහැක. මෑතක කළ ව්‍යවස්ථා සංශෝධන වලට අනුව දැන් එම ධූරය දරන පුද්ගලයාට දෙවතාවකට වඩා විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් මැතිවරණ වලට ඉදිරිපත් විය හැක. මේ සංශෝධන කිරීමේ අරමුනනම් වෙනමම එකක් බව පැහැදිලිය. ඒ වත්මන් ජනාධිපති මහින්ද රාඅපක්ෂ මහතාගේ බලය මින් ඉදිරියටත් තහවරු කිරීමයි. මෙය හුදෙක් දේශපාලන බලකාමය හා ආත්මාර්ථකාමීත්වය මත සිදුවන්නක් බව බැලූ බැල්මට පෙනුනත් ඒ තුල ඉන් ඔබ්බට යන වැදගත් කමක් අප කාට කාටත් තිබේ. 
         ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වීමත් ඒ සඳහා රජය පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමත් සමග ඒ ගැන එක් එක් පාර්ශව විසින් එක එක අදහස් ඉදිරිපත් කරන්නට විය. බොහෝ විරුද්ධවාදීන් මෙය විවේචනය කළේ මහින්ද රාජපක්ෂ මහතා තුන්වරක් ජනාධිපති ධූරය වෙනුවෙන් තරඟ කිරීමේ වලංගු භාවය හා නීත්‍යානුකූල භාවය ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළේ ඔවුන් තුල ඇති විධායක ජනාධිපති ධූරය කෙරෙහි වූ වෛරී ස්වභාවයත් පදනමට ගෙනය. විධායක ජනාධිපති ධූරය පැවතීමේ යහපත හා අයහපත ගැන වෙනමම කරුණු පැහැදිලි කළයුතුය. එනිසා ඒ ගැන වෙනමම ලිපියක් අනාගතයේ පළකිරීමට අප අදහස් කරමු. දැන් කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා තුන් වරක් ජනාධිපති වීම පිළිබඳව ඇති විවේචන ගැනයි.
             

  මුල්ම විවේචන ඉදිරිපත් වුනේ නෛතික කරුණු පදනම් කරගෙනය. විරුද්ධවාදීන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වී මුලින් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේ එවකට පවතින ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවට ප්‍රකාශ කරමින් යන්නත්, ඒ අනුව එවකට එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය සඳහා දෙවතාවකට වැඩිය ඉදිරිපත් වීමට නොහැකිව තිබූ නිසාත් රාජපක්ෂ මහතා තුන්වරක් ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම නීත්‍යානුකූල හා සදාචාරාත්මක නොවන බවකි. එහෙත් ඉන් පසුවට ව්‍යවස්ථාව වෙනස් වූයේ පාර්ලිමෙන්තු අනුමැතියත් සමගිනි. ඒ ගැන ඊට පක්ෂ වූවන්ගෙන් විරුද්ධවාදීන් විමසිය යුතුව ඇත. කෙසේ වෙතත් දැන් ජනාධිපතිවරයා බැඳී සිටින්නේ වෙනස් වූ ව්‍යවස්ථාව රැකීමටය. එම වෙනස නොකළයුතුව තිබුණු එකක්නම් මුලින්ම ඊට අනුමැතිය ලබා නොදීමට පාර්ලිමෙන්තුව හා කැබිනට් මණ්ඩලය ක්‍රියා කරයුතුව තිබුණි. එහෙත් එසේ නොවී ජනාධිපති ධූරය දරන කෙනාට දෙවතාවකට වඩා ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වීමට හැකි පරිදි ව්‍යවස්ථා සංශෝධන සක්‍රිය උනේ පාර්ලිමෙන්තුව දැනුවත්ව හා බහුතර කැමැත්තද ඇතිවය. එහෙයින් ජනාධිපතිවරයා දැන් වෙනස් වූ  ව්‍යවස්ථාව රැකීම වරදක්ද නොවේ. මේ නෛතික ගැටළුව සම්බන්ධව අපගේ අදහසයි.
               
  මීලඟ ගැටළුව වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය දූෂිත ඒකාධිපති පවුල් පාලනයක් බවත් එය වෙනස් කර රාජපක්ෂ මහතා පරදවා අළුත් රජයක් ස්ථාපිත කරයුතු බවටත් රජයට එරෙහි විරුද්ධවාදීන් ගෙනෙන තර්කය හරියටම හරිද යන්නයි. පළමුවෙන් අප මතක තියාගතයුතු කාරනාවක් මෙහි තිබේ. ඒ මෙරට මෑත දේශපාලනය පොදුවේ දූෂිත බවයි. ඒ හා සම්බන්ධ අනෙක් වැදගත් සාධකය වන්නේ රාජ්‍ය දේපල අයතා ලෙස පරිහරනය කොමිස් ගැහිලි රාජ්‍ය දේපල පෞද්ගලිකකරනය ආදිය හරහා අන්ත දූෂිත දේශපාලනයක් ගෙනයෑමට අත්පොත් තබන ලද්දේ එක්සත් ජාතික පක්ෂය යන්නයි. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය මේ සියල්ල කරන අතරතුර නියෝජනය කළේද විජාතික බලවේග මිස රටේ ජාතික බලවේග නොවේ. 1977ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටවැසියා විසින් හඳුනාගෙන තිබුණේ ජාතික මතවාද වලට බර යුක්තිය හා සමාජ සාධාරනත්වය නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය ලෙසටයි. එහෙත් 1994,1995,1996 කාල වකවානුවෙන් පසුවට චන්ද්‍රිකා කුමාරතුංග බලවත් වූ අවධියේ ඇය විසින් පෙර කී එක්සත් ජාතික පක්ෂයේ මුහුනුවරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබා දීමට කටයුතු කළාය. දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ දූෂිත පවුල් පාලනය ගැන කතා කරන අයට අමතක වීගිය කාරනයක් තිබේ. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂ මුහුණුවරක් ලබාදී දූෂිත පවුල් පාලනය ගෙනයන්නට උත්සහ කළ බවයි. ඇය විසින් විශාල ධනස්කන්ධයක් වියදම් කරමින් ජනාධිපති මන්දිරයක් අළුතෙන් තැනීමට පටන්ගත්තේ සිය පුත්‍රයා ජනාධිපති කරවාගැනීමට හැකි වේ යැයි සිහින දකිමිනි. ඔහුට වයස 30 සම්පූර්ණ වනතෙක් අනුර බණ්ඩාරනායක මහතා හෝ ජනාධිපති කරවා ගැනීමට චන්ද්‍රිකාට අවශ්‍ය විය. නමුත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතාටම ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබාදීමට සිදුවුනේ අනුර බණ්ඩාරනායක මහතාට චන්දය දිනන්නට තිබෙන සම්භාවිතාවය අඩු බව පෙනී ගිය නිසයි. අද මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ තිබෙන එකම අඩුපාඩුව දූෂිත බව මිස වෙන දෙයක් නොවේ. රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන් ඇතුලු මේ රටේ ආවේනික චින්තන රටාව අනුව ඉදිරියට ගමන් කරන පිරිස සුරක්ෂිත බව අපට කිසිවිට අමතක කළහැකි සාධකයක්ද නොවෙයි.

                       
    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ දේශපාලන දූෂණ ගැන හෝ රාජපක්ෂ මහතා තුන්වරක් ජනාධිපති වීමේ ඇති නෛතික ගැටළු හා සදාචාරාත්මක බව ගැන සෙවීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමේ ස්වභාවය නිවැරදිව වටහා ගැනීමයි. එලෙස හඳුනාගැනීමෙන් පසුවට කළයුත්තේ ජාතික බලවේග වලට නායකත්වය දෙන පාර්ශවයේ දූෂිත බව ඇතුලු දුර්වලතාවයන් ඉවත් කිරීමට පියවර ගැනීමයි. අප එසේ කියන්නේ තවත් කාරනයකුත් මතක් කර දෙමිනි. ඒ දූෂිත දේශපාලකයන් වෙනුවෙන් ඔවුන්ගේ දූෂිත බව දැනදැන චන්දය භාවිතා කරන්නේත් මෙරට චන්ද දායකයන්ම මිස පිටරැටියන් නොවන වගයි. එම කාරනාවෙන් කිසිවෙකුට ගැලවීමටද නොහැක. මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන්නේ පැහැදිලිවම රටේ ජාතිකත්වය හා ජාතික බලවේග එකතුවයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිවම නියෝජනය කරන්නේ ජාතිකත්වයට එරෙහි විජාතික බලවේග එකතුවයි. ජාතික බලවේග පාගාගෙන විජාතික මතවාදී ආදිපත්‍ය රට තුල සක්‍රීය කරමින් විදේශ තනාපතිවරු හා එන්.ජී.ඕ  අල්ලේ නැටවෙන පාලනයක් ගෙනයෑමේ ඉලක්කය සපුරාගන්නට යන තැන එහි හෙලුව වසාගන්නා කඩතුරාව පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ යහ පාලනයයි. 

          
පවතින මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය වෙනස් කරන්නට කතාකරන පොදු අපේක්ෂකයා හා ඔහු වටා සිටින එක්සත් ජාතික පක්ෂය, චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු අනෙකුත් පාර්ශව ඔවුන්ට සුපුරුදු වංචාව දූෂණය නොකරයි කියා අපට ඇති සහතිකය කුමක්ද? යහ පාලනයකට යැයි කියමින් සුපුරුදු දූෂිත බවත් එක්කම රටට ආවේනික ලෙස හිතන්නටත් නිදහස නැති විජාතික ගැති පාලනයකට දොර කවුලු විවර කරනවාට වඩා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය රැකගනිමින් පවතින රජයේ දුර්වලතා මගහරවා ගැනීමට ක්‍රියා කිරීම සඳහා බුද්ධිමත් සැබෑ ජාති හිතෛශී ජනයා පියවර ගතයුතුය. විධායක ජනාධිපති ධූරය ගැනද යම කිව යුතුම වේ. පළමුවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු යැයි කියා රටේ අතිමහත් බහුතරය කියා නැත යන්නයි. අනෙක ජාතික බලවේග වලටත් රටට ආවේනික අදහස් සිතුම් පැතුම් ඇත්තවුන්ටත් ඇති සැබෑ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හා විධායක ජනාධිපති ක්‍රමය බව අප දැන්වත් තේරුම්ගතයුතුව තිබෙන බවයි. විධායක ජනාධිපති බලතල නොතිබෙන්නට සියල්ල පාර්ලිමෙන්තුව හරහා කෙරෙන තතවයක් යටතේ කොටි ත්‍රස්තවාදය සමග සටන් කිරීමට සිදු වුනිනම් මේ වනවිට කොටියා ඊලම පිහිටුවා හමාරය. අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයත් රජයත් දූෂිත් හා අයහපත් එකක්නම් එය වෙනස් වියයුත්තේ සැබෑ ජාතික බලවේග අතරින් යහපත් නව නායකත්වයක් බිහිවීම තුලින් පමණක් මිස විජාතික යහපාලනයකින් නොවේ යන්නයි. ඒ හරිය සිදුවීමට තව කොපමණ කල් ඇත්ද එතෙක් මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් තුන්වරක් සිවුවරක් නොව මැරෙනකල්ම ජනාධිපති වුවත් කමක් නැත.

3 comments:

  1. මෛත්‍රීගේ බටහිර ගැති රූකඩ යහපාලනය අපට ඕන නෑ

    ReplyDelete
    Replies
    1. ඔවු NGO වලින් පඩි ගන්න එවුන්ට UNP කාරයන්ට මුස්ලිම් අන්තවාදයට TNA එකට රූකඩ පාලනය අති විශේෂයි.

      Delete
  2. ඔබ හරි. ඔන්න කෙටියෙන්ම කිවුවා

    ReplyDelete