Sunday, January 25, 2015

2015 ජනාධිපතිවරණ චන්ද ප්‍රතිඵලය අපට කියාදෙන පාඩම්.


ජනාධිපතිවරණය නිම වී ඇත. දැන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන තිබේ. ජය පරාජය ඕනෑම තරගයක නිතැතින් දක්නට ලැබෙන්නක්. නමුත් මේ ජනාධිපතිවරණ චන්ද ප්‍රතිඵලය අනුව ජය පැරදුම විග්‍රහ කිරීමේදී තරමක් පුළුල් පරාසයකට ගොස් විග්‍රහයක් කිරීම අත්‍යවශ්‍ය වේ. චන්දය අවසන් වූ දා සිටම රට්නදාඅ තුල පැවතියේ වෙනදා දක්නට ලැබෙන උද්‍යෝගයක් නොවේ. සිංහල බහුතරයක් වෙසෙන පලාත් වලින් තැනින් තැන උදාසීන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය සමරනු අප දුටුවෙමු. එහිදී තරමක් හෝ වැඩි උද්‍යෝගයක් දැකගත හැකි වූයේ පොළොන්නරුව ප්‍රදෙශයේ පමණි. එහෙත් උතුර හා නැගෙනහිර සුළුතර ජනකොටස් බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශ වල ඒ මහතාගේ ජයග්‍රහනය දැඩි උද්‍යෝගයකින් සමරන අයුරු අපට දැකගන්නට හැකි විය. උතුරේ හා නැගෙනහිර සුළුතර ජනකොටස් උද්‍යෝගයට පත්ව ඇති අතර බහුතර සිංහලයා සිදුවූයේ කුමක්ද යන්න හිතාගත නොහැකිව අතරමං වී තබ්බීරී වී ඇත. මේ ගැන තරමක පුළුල් කරුණු විමසීමක් උවමනා වන්නේ සිදු වූ දෙය ගැන සාර්ථක විග්‍රහයක් කිරීමටයි.
                          

  බටහිර අධිරාජ්‍යවාදයත් යුදෙවු චින්තනයේ බලවත් වීම හා මතවාදි සංස්කෘතික ආක්‍රමණයත් ගැන අප මින් පෙර සිටම කරුණු කියා ඇත. බටහිර යුදෙවු මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයා ලොව පුරා රටවල් වලට බූවල්ලෙකු අඬු දමන ආකාරයට රට රටවල පාලන තන්ත්‍රයන් සංස්කෘතීන් හා චින්තන රටා තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට යොදන සැලසුම් උපක්‍රම බොහෝ ඇත. මේ තත්වය අපේ රටටත් පොදුවේ බලපායි. විශේෂයෙන් අධිරාජ්‍යවාදී යටත් විජිතයක්ව පැවතීම තුල මේ ක්‍රියාදාමයේ ස්ථිර නියෝජිතයන් රට තුල අපේ සමාජයේම ඇත. ජාතික බලවේග හා විජාතික බලවේග අතර ලොව සෙසු රටවල මෙන්ම ගැටුමක් අපේ රට තුලත් දක්නට ලැබෙන්නේ මේ පසුබිම තුලයි. මේ තත්වය රටේ මැතිවරණ වලටද අනිවාර්ය ලෙස බලපාන්නේ විජාතික බලවේග සැමවිට තම ක්‍රියාකාරකම් රට තුල සාර්ථක කරගැනීමට ඔවුන්ට හිතවත් පාලනයක් රටේ ස්ථාපිත කරවාගැනීමට සැදී පැහැදී සිටින බැවිනි. මෙරට ජාතික බලවේග යනු සැබෑ ලෙස ගත් කළ රටට ආවේනික ලෙස සිතන පතන ජනයාගේ නායකත්වයෙන් සැදුම්ලත් ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන බලවේග එකතුවයි. විජාතික බලවේග ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඒ බටහිර යුදෙවු මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයාගේ අදිසි හස්ථය හා බටහිර බලවේග වල මෙරට නියෝජිතයන් පිරිසයි. මෑතක සිට මීත අමතරව රටේ පැනනැගී ආ අනෙක් ජාතිකත්වයට එරෙහි බලවේගය වන්නේ ඉස්ලාමීය වර්ගවාදය හා ආක්‍රමණයයි. මේ දෙක එකිනෙක ප්‍රතිවිරුද්ධ මූලාශ්‍රයන් වලින් පැමිණියත් මෙවර මැතිවරණයේදී තම යටි අරමුණු වෙනුවෙන් එකට එක වේදිකාවකට ගොඩ වූ ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි විය.
                       
  මෙරට දේශපාලනය සැලකිල්ලට ගැනීමේදී බටහිර විජාතික බලවේග වල ආක්‍රමණකාරී වැඩපිළිවෙලේ හවුල්කාර පාර්ශවය ඊලාම්වාදී බෙදුම්වාදයයි. එහි සන්නද්ධ අංශය වන කොටි සංවිධානය ජාතික බලවේග ලත් දේශපාලන ජයග්‍රහනය සමග පරාජයට පත් විය. මේ බටහිර බලවේගයේ මතවාදී ආධිපත්‍ය දේශපාලනය තුල නිශ්චිත ලෙස නියෝජනය කරන්නේ සිරිතක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයයි.ඒ තුල මුස්ලිම් ව්‍යාප්තිවාදී වර්ගවාදයටද යම් බුරුලක් තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිරිතක් ලෙස තිබුණේ ජාතික මතවාද වූ අතර එය මෙරට ජාතික බලවේග වල නියෝජිතයාද විය. නමුත් 1994 පමණ සිට 2005 දක්වා චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද එක්සත් ජාතික පක්ෂයේ මුහුණුවරම ලැබුණි. ඒ අනුව විජාතිකත්වයට එම පක්ෂයද බර විය. නමුත් 2005න් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මතවාදීව ජාතිකත්වය තුලට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණියත් ආර්ථික ප්‍රතිපත්ති වල යම් මට්ටමක බටහිර සංවර්ධන න්‍යායන් වැඩි වශයෙන් තිබුණි. කෙසේ හෝ වේවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සංධානය ) නියෝජනය කළේ මෙරට ජාතික බලවේගයි.
            
මෙවර ජනාධිපතිවරණයේදීද මේ විජාතික බලවේග හා ජාතික බලවේග අතර ගැටුම උත්සන්න විය. ඒ ගැන වැඩි විස්තර කීමට මත්තෙන් අප සිහියට නගා ගතයුතුත්තක් ඇත. එනම් ජාතික බලවේග වල ජාතික අරමුණු කරා යන ගමනේ විජාතික බලවේග හා කුමන්ත්‍රණ පරාජය කිරීමේදී පැනියයුතු මූලික කඩයිම් තුනක් ගැන අප මින් පෙරත් සඳහන් කර ඇත. ඉන් පළමුවැන්න කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමයි. එම තීරනාත්මක කඩඉම දැනටමත් පැනගෙන ඇත. සෙසු ප්‍රධාන කඩඉම් වලින් දෙවැන්න වන්නේ ඊලාම්වාදී බෙදුම්වාදය දේශපාලනිකවත් මතවාදීව හා න්‍යායාත්මකවත් පරාජය කිරීමයි. තුන්වැන්න ජාතික අරමුණු මත රටට ආවේනික ලෙස සිතන පතන මේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන් රටේ තීරක බලවේගය බවට පත්කරගෙන අපට ආවේනික ඉදිරි ගමනකට අවතීර්න වීමයි. අප මුලින් සඳහන් කළ පළමු කඩයිම පැනීමෙන් පසුව දෙවන හා තුවන කඩයිම් පැනීමට පෙර මෙරට දේශපාලනයට හුරු වී තිබූ වංචාව දූෂණය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධාන රජයද ආක්‍රමණය කර තිබුණි. එහෙයින් බලන කළ ජාතික අරමුණු මත පදනම් වූ අනෙකුත් කඩයිම් පැනීම ප්‍රමාද වූවේය. ඇත්තෙන්ම බැලුවොත් මේ කඩයිම් පැන රට සුරක්ෂිත කිරීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ නිවැරදි හා නිස්චිත සැලැස්මක රජයට නොවීය. ඒ වෙනුවට නාස්තිකාර සංවර්ධන ව්‍යාපෘති හා වංචා රජය තුල උත්සන්න වෙමින් පැවතුනි. මෙලෙසින් මේ සිදුවීම් සිද්ද වෙද්දී විජාතික කඳවුර එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික බලවේග වලට හිතවත් මහින්ද රාජපක්ෂ රජය පෙරලා ඔවුන්ගේ සුපුරුදු හිතවතුන් වන එක්සත් ජාතික පක්ෂය බලයට පත්කිරීමේ ප්‍රයත්නය දිගටම ගෙනයන ලදි. මෙම ක්‍රියාදාමයට සමගාමීවම මුස්ලිම් ව්‍යාප්තිවාදී ආක්‍රමණිකයාද නැගෙනහිරින් කොටසක් තම බුක්තියට සවිකරගැනීමේ ක්‍රියාදාමය රජය තුල සිටිමින්ම කරගෙන ගියේය. රජය ක්‍රියාත්මක කළ ජාතික අරමුණු මෙරට දෑහිතකාමී ජනයාගෙන් වසන් වීමත් ජාතික අරමුණු වලින් තොර වූ කොටස් වල රජය කෙරෙහි තිබූ අපැහැදීම උත්සන්න වීමත් මේ සමගම සිදු විනි.
                           
බටහිර අධිරාජ්‍යවාදියාගේ කීකරු සේවකයා වූ ඊලාම්වාදී බෙදුම්වාදියාට තම අරමුණු ඉටුකරගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයකින් බැරි බව හොඳින්ම දැනගෙන ඔවුන්ට හිතවත් එක්සත් ජාතිකපක්ෂය ප්‍රමුඛ විජාතික මතධාරීන් පිරිසක් බලයට පත්කරගන්නා ආකාරය ගැන මේ ඊලාම්වාදියා නිරතුරුව විමසිලිමත් විය. මේ අතරම නැගෙනහිර පලාතේ ලියලා වැඩුනු මුස්ලිම් ව්‍යාප්තිවාදී බෙදුම්වාදයද පසුගිය මැතිවරණ සමය වනවිට පැමිණ තිබුණේ උත්සන්න අවධියකයි. මේ අයුරින් සියල්ල සිදුවෙද්දී බටහිර බලවේග වල නියෝජිතයන් වූ මෙරට සිටින එම රටවල තානාපතිවරු හා ඔවුන්ට හිතවත් රාජ්‍ය නොවන සංවිධානද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය කෙසේ හෝ පෙරලා දැමීමේ උත්සහයක් දිගටම නිරත වුනි. මේ සඳහා ඔවුන් ජනාධිපතිවරනයට රාජපක්ෂ මහතා තුන්වන වර ඉදිරිපත් වීම ගැන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැටදෙන්නට උත්සහ කළත් එය අසාර්ථක වන තැන බහුතර සිංහල බෞද්ධ ජනයා අතර ප්‍රසාදය ගොඩනගාගෙන සිටි ජනාධිපතිවරයාට එරෙහිව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ගැටළුවටද මුහුන දීමටද ඔවුන්ට සිදුවිය. ඔවුන් අවසානයට වටහා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාට ජාතික බලවේග වල හා බහුතර සිංහල බෞද්ධයන් අතර ඇති ප්‍රසාදය හමුවේ සටනක් දීමට සම්ප්‍රදායික විජාතික ගැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට නොහැකි බව හා, ඒ සඳහා ජාතික බලවේගත් සිංහල බෞද්ධ ජනතාවත් මුලා කළ හැකි ඉත්තෙකු සොයාගතයුතු බවයි. මේ වනවිට අතුරැලියේ රතන හිමිත් බල ලෝභීත්වය මිස ජාතිකත්වය නැති චම්පික රනවක මහතාත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කර තිබුණි. නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකු වූ පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ගැන තිබුණු කළකිරීමද විජාතික බලවේග මේ වනවිට හොඳින් නිරීක්ෂණය කර තිබුණි. කළ දුටු කළ වල ඉහගැනීමේ න්‍යාය ක්‍රියාත්මක කළ විජාතික බලවේග එකතුව ඔවුන්ගේ සම්ප්‍රදායික හිතවතියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග ලවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකත්වය ගැනීමේ තිරය පිටුපස සිදුවීම් සමුදාය මෙයයි.
                     
     මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත නොහැකි ඊලමට පාර කපන දේශපාලන විසඳුම් මෛත්‍රීපාල සිරිසෙන මහතාගෙන් ලබාගැනීමේ අරමුණ ඇතිව ඊලාම්වාදයේ දේශපාලන නියෝජනය වන දෙමළ සන්ධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක් විය. නැගෙනහිර පලාතේ මුස්ලිම් වර්ගවාදය නියෝජනය කළ මුස්ලිම් කොන්ග්‍රසයද තම පරිපාලන කලාප සිහිනය සැබෑ කරගැනීමේ අටියෙන් එක් වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමගයි. ඒ මහින්ද රාජපක්ෂ මහතාගෙන් එය කිසිවිට නොලැබෙන බව ඔවුන් හොඳහැටි දැනගෙනයි. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ හා රජයේ අඩුපාඩු ගැන කළකිරුනු සිංහල ජනයාගෙන් යම් කොටසක් යහපාලන ප්‍රෝඩාවට රැවටී ජාතික අරමුණු අමතක කර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් විය. මේ යහපාලන ප්‍රෝඩාව රටෙන් වසන් වීමට බලපෑවේ මූලිකවම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්ත වූ රජයේ වංචා දූෂණ හා නාස්තිකාරකම් විය. මහින්ද රාජපක්ෂ මහතාත් සන්ධාන රජයත් අමතක කළ වැදගත්ම කාරනාව වූයේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ පසු අප මුලින් කී පරිදි තවත් මූලික කඩයිම් දෙකක් පැනීමට ඉතිරිව ඇති බවයි. ඒ සඳහා නිත්‍ය වැඩසටහන් රටේ ජාතික බලවේග වල අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කළයුතුව තිබුණි. නමුත් එය ඒ ආකාරයෙන් සිදු නොවී නුසුදුස්සන්ට හා ජාතික ධනය කොල්ලකෑම පමණක් අරමුණු කරගත් දේශපාලන අපතයන්ට තනතුරු හිමි විය. රාජපක්ෂ මහතා තේරුම් නොගත් තවත් කරුණක් තිබේ. එනම් එක්සත් ජාතික පක්ෂයෙන් හා වෙනත් දේශපාලන පක්ෂ වලින් සංවිධායකයන් ප්‍රාදේශීය දේශපාලකයින් තමන්වෙත ලංකරගත් පමණින් තම චන්ද පදනම  නොරැකෙන බවයි. ලංකාවේ චන්ද දායකයන් බොහෝ දෙනෙකුට යුද්ධය ජයගැනීමට කළ කැපකිරීම් පවා ඉක්මනින් අමතක වන තත්වයක් තුල දූෂිත දේශපාලකයින්ට ගසාකන්නට ඉඩදී ජාතික අරමුණුත් පසෙකලා නාස්තිකාර සංවර්ධන ව්‍යාපෘති වලට මුල් තැන දීම රාජපක්ෂ මහතා කළ බලවත් අනුවණ ක්‍රියාවකි. පොදු අපේක්ෂකයාගේ යහ පාලන ප්‍රෝඩාව තුල අන්තර්ගතව තිබූ ඊලාම්වාදය ඇතුළු විජාතික අරමුණු රටෙන් වසන් කිරීමට සමත් වූ ප්‍රභල සාධකයද එයයි. පොදු අපේක්ෂකයා හරහා විජාතික බලවේග විශාල පිම්මක් ඉදිරියට පැනගත්තේ මේ දුර්වලකම් වල ප්‍රතිඵලයක් ලෙසය.
            
මෙවන් තත්වයක් තුල ජනාධිපතිවරණයට අවතීර්ණ වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වටා ජාතික හා විජාතික බලවේග ගොනු වූ ආකාරය අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නොවේ. ඊලාම්වාදයටත් විජාතික අරමුණු වලටත් ජයගත නොහැකි ජාතිකත්වයට ලැදි ප්‍රතිපත්ති අනුගමනය කළ මහින්ද රාජපක්ෂ මහතා වටා ජාතික බලවේග සියල්ල එක් විය. පුද්ගලයෙකු වශයෙන් යහපත් ජාතිකත්වයට ලැදි අයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය හා චන්ද්‍රිකා කුමාරතුන්ග ප්‍රමුඛ විජාතික බලවේග වල ගැටයකට හසු වී ඔවුන්ගේ පොදු අපේක්ෂකයා බවට පත්විය. ඊට කිට්ටු ලෙස හේතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ බැසිල් රාජපක්ෂ වැන්නන් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයන් වූ අමාත්‍යවරුන්ට පවා සාධාරන ලෙස වැඩකටයුතු කරන්නට නොදී සියල්ලට ඇඟිලි ගැසීමත්, රාජපක්ෂ පවුලේ අය සියළු තීන්දු ගැනීමත්ය. මෙවැනි තත්වයක් තුල රාජපක්ෂ රජයේ සියළු දුර්වලතා හා අඩුපාඩු අමතක කර ඊලාම්වාදය හා මුස්ලිම් වර්ගවාදය ප්‍රමුඛ විජාතික කඳවුරට එරෙහිව සිංහල චන්ද දායකයන්ගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් චන්දය භාවිතා කළහ. සිංහල නොවන බෞද්ධ නොවන සුළුතර ජන කොටස් වලට අයත් චන්ද දායකයන්ගෙන් ජාතික ප්‍රවාහය සමග එක්ව කටයුතු කිරීමට කැමති බෙදුම්වාදීන් නොවන සාධාරන හා මද්‍යස්ථ පිරිසද මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්විය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉටු කරගත නොහැකි ස්වයංපාලන බෙදුම්වාදී අරමුණු ඉටුකරගැනීමේ අරමුණින් උතුරු හා නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල සුළුතර දෙමළ හා මුස්ලිම් චන්ද දායකයන්ගෙන් වැඩි පිරිස පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක් විය. එමෙන්ම බෙදුම්වාදී අරමුණු හා විජාතික කඳවුරේ සන්ධානගත වීම දැන දැනම මහින්ද විරෝධයත් බඩගෝස්තරවාදයත් මත පදනම්ව සිංහල චන්ද දායකයන්ගෙන් පිරිසක්ද යහපාලන ප්‍රෝඩාවට රැවටී පොදු අපේක්ෂකයා වටා එක් වූහ. මේ පිරිසට ජාතික මතවාද වලින් තොර බටහිර නූතනත්වයේ බොරු සෝබනයට හා පිට ආටෝපයට කැමති කම්මැලි නාගරික තරුණ පිරිසද අයත් ය.
                             
චන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන කාරනය නම් උතුරු හා නැගෙනහිර පලාත් වල අති විශාල වැඩි චන්ද ප්‍රමාණයකින් පොදු අපේක්ෂකයා ජයගත් බවයි. දකුණ බස්නාහිර ඇතුළු සෙසු පලාත් වලද සුළුතර ජන කොටස් බහුල ප්‍රදේශ වල පොදු අපේක්ෂකයා ඉදිරියෙන් සිටිනු දක්නට හැකි විය. ඒ හැර සිංහල බහුතරයක් වෙසෙන සෑම පලාතකම මැතිවරන කොට්ටාශ වැඩි හරියක ජය හිමි වූයේ මහින්ද රාජපක්ෂ මහතාටයි. පොළොන්නරුවේ පමණක් ප්‍රතිඵලය වෙනස් වූයේ ඒ පොදු අපේක්ෂකයාගේ උපන් ගම වූ නිසයි. සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශ වලින් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු වැඩි චන්ද පරතරය අභිබවා උතුරු හා නැගෙනහිරත් සෙසු පලාත්වලත් පොදු අපේක්ෂකයාට ලැබුණු  සුළුතර වර්ගවාදී බෙදුම්වාදී චන්ද ප්‍රමාණය වැඩි වූයේ විජාතික බලවේග ජයග්‍රහනය කරවමිනි. මේ පිළිබඳ අවසන් විග්‍රහයේදී කියන්නට තිබෙන පළමු කාරනාව වන්නේ ලංකාවේ දේශපාලනය පොදුවේ දූෂිත බව හා දූෂිත දේෂපාලනය, ජාතික ධනය අයතා ලෙස පරිහරනය කිරීම, මැර බලය ඇතුලු සියලු අයහපත් දේ මෙරට දේශපාලනය තුලට එක්කාසු කළේ එක්සත් ජාතික පක්ෂය යන්නයි. චන්ද්‍රිකා කුමාරතුන්ග බලවත් වූ 1994න් පසුවට පොදු පෙරමුණු රජයද එම අඩි පාරේම ගියේය. පසුගිය කාලයේ නිදහස් සන්ධාන රජයේ වෙනසකට තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ඒකාධිකාරය පමණි. එහිදීද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ සෙසු දූෂිත දේශපාලකයින් අතර එසත් ජාතික පක්ෂයෙන් සන්ධානයට එක් වූ පුද්ගලයන් සිටි බවත් මතක් කළ යුතු වේ. රජයේ අනෙකුත් දේශපාලකයින් හා පලාත්සභා වලින් රජයට එක් වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් කළ හොරකම් වංචා රාජපක්ෂ පවුලේ අයගේ නාස්තිකාර වියදම් හා ගසාකෑම් වලට වඩා බෙහෙවින් වැඩිය. චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ එක්සත් ජාතික පක්ෂ රජයක වසර දෙකක් තුල පාලන කාලයේ සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා කොපමණද යන්නත් ඒ කාළයේ දේශපාලකයින් ගසාකෑ ආකාරය අපට අමතක කරන්නටද පුළුවන්කමක් නැත.
                         
බෙදුම්වාදී වර්ගවාදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත නොහැකි අත්තනෝමතික ස්වයංපාලන අයිතීන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූෂිත එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් ලබාගැනීම පහසු බව දැනගෙන රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදෙන්නට සූදානම් වූ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවී ක්‍රියා කළහ. දේශපාලන්යේ දූෂිත බව සිංහලයාට පමණක් නොව සුළුතර ජන කොටස් වලටද පීඩාකාරී බවත්, එය එසේ වුවද බෙදුම්වාදී වර්ගවාදී සුළුතර කොටස් තම යටි අරමුණු ඉටු කරගැනීමට දේශපාලනයේ දූෂිත බව ප්‍රශ්නයක් කර නොගනිමින්  කවර කණ්ඩායමක් සමග වුවත් එකට අත්වැල් බැඳගන්නා බවත් අප සිහි තබාගතයුතුය. පොදු අපේක්ෂකයා ජය ගැනීම තුල සිදු වූයේ අන් කවරක්වත් නොව විජාතික යහපාලන ප්‍රෝඩාවට සැලකියයුතු සිංහල චන්ද දායකයන් පිරිසක් රැවටීමත් ඒතුලින් සුළුතර බෙදුම්වාදී කොටස් කළ දුටු කළ වල ඉහගැනීමත්ය. දැන් අවුල්සහගත විජාතික බලය වැඩි ආණ්ඩුවක් නිර්මාණය වී ඇත. අවසානයට සිද්ධ උනේ යුධ ජයග්‍රහනයෙන් පසුවට ඉටුකිරීමට තිබූ අනෙක් ජාතික වගකීම් හරි හැටි ඉටු නොකර වංචනික දේශපාලනය තුල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන රජය අතරමං වී ලැබූ මැතිවරන පරාජයත් සමග ජාතික බලවේග වල හා මෙරට දෑහිතකාමී සියළු දෙනාගේ බලාපොරොත්තු සුන් වීමය. දැන් ජාතික බලවේග වලට නැවත නැගිටීමට දැඩි වෙහෙසකර ප්‍රයත්නයක් දැරීමට සිදුවීම නියත වේ.

Monday, January 5, 2015

මහින්දට 3න් වරක් අකැපද? එහෙනම් මෙන්න උත්තරේ.


1978 ජේ ආර් ජයවර්ධන මහතා විසින් 5/6 ක බහුතර අනුමැතිය අනුව සකස් කළ ව්‍යවස්ථාව තුලින් මෙරට පාලන තන්ත්‍රය තුල විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත කරන ලදි. ඉන් අනතුරුව මෙරට මුල්ම විධායක ජනාධිපතිවරයා බවට පත්වූයේද ජේ ආර් ජයවර්ධන මහතායි. එවකට ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුරය දරන පුද්ගලයාට දෙවතාවකට වඩා එම තනතුර දැරීමට නොහැකි අතර දෙවතාවකට වඩා එම ධූරය වෙනුවෙන් චන්දය ඉල්ලීමටද නොහැක. මෑතක කළ ව්‍යවස්ථා සංශෝධන වලට අනුව දැන් එම ධූරය දරන පුද්ගලයාට දෙවතාවකට වඩා විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් මැතිවරණ වලට ඉදිරිපත් විය හැක. මේ සංශෝධන කිරීමේ අරමුනනම් වෙනමම එකක් බව පැහැදිලිය. ඒ වත්මන් ජනාධිපති මහින්ද රාඅපක්ෂ මහතාගේ බලය මින් ඉදිරියටත් තහවරු කිරීමයි. මෙය හුදෙක් දේශපාලන බලකාමය හා ආත්මාර්ථකාමීත්වය මත සිදුවන්නක් බව බැලූ බැල්මට පෙනුනත් ඒ තුල ඉන් ඔබ්බට යන වැදගත් කමක් අප කාට කාටත් තිබේ. 
         ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වීමත් ඒ සඳහා රජය පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමත් සමග ඒ ගැන එක් එක් පාර්ශව විසින් එක එක අදහස් ඉදිරිපත් කරන්නට විය. බොහෝ විරුද්ධවාදීන් මෙය විවේචනය කළේ මහින්ද රාජපක්ෂ මහතා තුන්වරක් ජනාධිපති ධූරය වෙනුවෙන් තරඟ කිරීමේ වලංගු භාවය හා නීත්‍යානුකූල භාවය ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළේ ඔවුන් තුල ඇති විධායක ජනාධිපති ධූරය කෙරෙහි වූ වෛරී ස්වභාවයත් පදනමට ගෙනය. විධායක ජනාධිපති ධූරය පැවතීමේ යහපත හා අයහපත ගැන වෙනමම කරුණු පැහැදිලි කළයුතුය. එනිසා ඒ ගැන වෙනමම ලිපියක් අනාගතයේ පළකිරීමට අප අදහස් කරමු. දැන් කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා තුන් වරක් ජනාධිපති වීම පිළිබඳව ඇති විවේචන ගැනයි.
             

  මුල්ම විවේචන ඉදිරිපත් වුනේ නෛතික කරුණු පදනම් කරගෙනය. විරුද්ධවාදීන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වී මුලින් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේ එවකට පවතින ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවට ප්‍රකාශ කරමින් යන්නත්, ඒ අනුව එවකට එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය සඳහා දෙවතාවකට වැඩිය ඉදිරිපත් වීමට නොහැකිව තිබූ නිසාත් රාජපක්ෂ මහතා තුන්වරක් ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම නීත්‍යානුකූල හා සදාචාරාත්මක නොවන බවකි. එහෙත් ඉන් පසුවට ව්‍යවස්ථාව වෙනස් වූයේ පාර්ලිමෙන්තු අනුමැතියත් සමගිනි. ඒ ගැන ඊට පක්ෂ වූවන්ගෙන් විරුද්ධවාදීන් විමසිය යුතුව ඇත. කෙසේ වෙතත් දැන් ජනාධිපතිවරයා බැඳී සිටින්නේ වෙනස් වූ ව්‍යවස්ථාව රැකීමටය. එම වෙනස නොකළයුතුව තිබුණු එකක්නම් මුලින්ම ඊට අනුමැතිය ලබා නොදීමට පාර්ලිමෙන්තුව හා කැබිනට් මණ්ඩලය ක්‍රියා කරයුතුව තිබුණි. එහෙත් එසේ නොවී ජනාධිපති ධූරය දරන කෙනාට දෙවතාවකට වඩා ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වීමට හැකි පරිදි ව්‍යවස්ථා සංශෝධන සක්‍රිය උනේ පාර්ලිමෙන්තුව දැනුවත්ව හා බහුතර කැමැත්තද ඇතිවය. එහෙයින් ජනාධිපතිවරයා දැන් වෙනස් වූ  ව්‍යවස්ථාව රැකීම වරදක්ද නොවේ. මේ නෛතික ගැටළුව සම්බන්ධව අපගේ අදහසයි.
               
  මීලඟ ගැටළුව වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය දූෂිත ඒකාධිපති පවුල් පාලනයක් බවත් එය වෙනස් කර රාජපක්ෂ මහතා පරදවා අළුත් රජයක් ස්ථාපිත කරයුතු බවටත් රජයට එරෙහි විරුද්ධවාදීන් ගෙනෙන තර්කය හරියටම හරිද යන්නයි. පළමුවෙන් අප මතක තියාගතයුතු කාරනාවක් මෙහි තිබේ. ඒ මෙරට මෑත දේශපාලනය පොදුවේ දූෂිත බවයි. ඒ හා සම්බන්ධ අනෙක් වැදගත් සාධකය වන්නේ රාජ්‍ය දේපල අයතා ලෙස පරිහරනය කොමිස් ගැහිලි රාජ්‍ය දේපල පෞද්ගලිකකරනය ආදිය හරහා අන්ත දූෂිත දේශපාලනයක් ගෙනයෑමට අත්පොත් තබන ලද්දේ එක්සත් ජාතික පක්ෂය යන්නයි. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය මේ සියල්ල කරන අතරතුර නියෝජනය කළේද විජාතික බලවේග මිස රටේ ජාතික බලවේග නොවේ. 1977ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටවැසියා විසින් හඳුනාගෙන තිබුණේ ජාතික මතවාද වලට බර යුක්තිය හා සමාජ සාධාරනත්වය නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය ලෙසටයි. එහෙත් 1994,1995,1996 කාල වකවානුවෙන් පසුවට චන්ද්‍රිකා කුමාරතුංග බලවත් වූ අවධියේ ඇය විසින් පෙර කී එක්සත් ජාතික පක්ෂයේ මුහුනුවරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබා දීමට කටයුතු කළාය. දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ දූෂිත පවුල් පාලනය ගැන කතා කරන අයට අමතක වීගිය කාරනයක් තිබේ. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂ මුහුණුවරක් ලබාදී දූෂිත පවුල් පාලනය ගෙනයන්නට උත්සහ කළ බවයි. ඇය විසින් විශාල ධනස්කන්ධයක් වියදම් කරමින් ජනාධිපති මන්දිරයක් අළුතෙන් තැනීමට පටන්ගත්තේ සිය පුත්‍රයා ජනාධිපති කරවාගැනීමට හැකි වේ යැයි සිහින දකිමිනි. ඔහුට වයස 30 සම්පූර්ණ වනතෙක් අනුර බණ්ඩාරනායක මහතා හෝ ජනාධිපති කරවා ගැනීමට චන්ද්‍රිකාට අවශ්‍ය විය. නමුත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතාටම ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබාදීමට සිදුවුනේ අනුර බණ්ඩාරනායක මහතාට චන්දය දිනන්නට තිබෙන සම්භාවිතාවය අඩු බව පෙනී ගිය නිසයි. අද මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ තිබෙන එකම අඩුපාඩුව දූෂිත බව මිස වෙන දෙයක් නොවේ. රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන් ඇතුලු මේ රටේ ආවේනික චින්තන රටාව අනුව ඉදිරියට ගමන් කරන පිරිස සුරක්ෂිත බව අපට කිසිවිට අමතක කළහැකි සාධකයක්ද නොවෙයි.

                       
    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ දේශපාලන දූෂණ ගැන හෝ රාජපක්ෂ මහතා තුන්වරක් ජනාධිපති වීමේ ඇති නෛතික ගැටළු හා සදාචාරාත්මක බව ගැන සෙවීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමේ ස්වභාවය නිවැරදිව වටහා ගැනීමයි. එලෙස හඳුනාගැනීමෙන් පසුවට කළයුත්තේ ජාතික බලවේග වලට නායකත්වය දෙන පාර්ශවයේ දූෂිත බව ඇතුලු දුර්වලතාවයන් ඉවත් කිරීමට පියවර ගැනීමයි. අප එසේ කියන්නේ තවත් කාරනයකුත් මතක් කර දෙමිනි. ඒ දූෂිත දේශපාලකයන් වෙනුවෙන් ඔවුන්ගේ දූෂිත බව දැනදැන චන්දය භාවිතා කරන්නේත් මෙරට චන්ද දායකයන්ම මිස පිටරැටියන් නොවන වගයි. එම කාරනාවෙන් කිසිවෙකුට ගැලවීමටද නොහැක. මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන්නේ පැහැදිලිවම රටේ ජාතිකත්වය හා ජාතික බලවේග එකතුවයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිවම නියෝජනය කරන්නේ ජාතිකත්වයට එරෙහි විජාතික බලවේග එකතුවයි. ජාතික බලවේග පාගාගෙන විජාතික මතවාදී ආදිපත්‍ය රට තුල සක්‍රීය කරමින් විදේශ තනාපතිවරු හා එන්.ජී.ඕ  අල්ලේ නැටවෙන පාලනයක් ගෙනයෑමේ ඉලක්කය සපුරාගන්නට යන තැන එහි හෙලුව වසාගන්නා කඩතුරාව පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ යහ පාලනයයි. 

          
පවතින මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය වෙනස් කරන්නට කතාකරන පොදු අපේක්ෂකයා හා ඔහු වටා සිටින එක්සත් ජාතික පක්ෂය, චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු අනෙකුත් පාර්ශව ඔවුන්ට සුපුරුදු වංචාව දූෂණය නොකරයි කියා අපට ඇති සහතිකය කුමක්ද? යහ පාලනයකට යැයි කියමින් සුපුරුදු දූෂිත බවත් එක්කම රටට ආවේනික ලෙස හිතන්නටත් නිදහස නැති විජාතික ගැති පාලනයකට දොර කවුලු විවර කරනවාට වඩා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය රැකගනිමින් පවතින රජයේ දුර්වලතා මගහරවා ගැනීමට ක්‍රියා කිරීම සඳහා බුද්ධිමත් සැබෑ ජාති හිතෛශී ජනයා පියවර ගතයුතුය. විධායක ජනාධිපති ධූරය ගැනද යම කිව යුතුම වේ. පළමුවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු යැයි කියා රටේ අතිමහත් බහුතරය කියා නැත යන්නයි. අනෙක ජාතික බලවේග වලටත් රටට ආවේනික අදහස් සිතුම් පැතුම් ඇත්තවුන්ටත් ඇති සැබෑ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හා විධායක ජනාධිපති ක්‍රමය බව අප දැන්වත් තේරුම්ගතයුතුව තිබෙන බවයි. විධායක ජනාධිපති බලතල නොතිබෙන්නට සියල්ල පාර්ලිමෙන්තුව හරහා කෙරෙන තතවයක් යටතේ කොටි ත්‍රස්තවාදය සමග සටන් කිරීමට සිදු වුනිනම් මේ වනවිට කොටියා ඊලම පිහිටුවා හමාරය. අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයත් රජයත් දූෂිත් හා අයහපත් එකක්නම් එය වෙනස් වියයුත්තේ සැබෑ ජාතික බලවේග අතරින් යහපත් නව නායකත්වයක් බිහිවීම තුලින් පමණක් මිස විජාතික යහපාලනයකින් නොවේ යන්නයි. ඒ හරිය සිදුවීමට තව කොපමණ කල් ඇත්ද එතෙක් මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් තුන්වරක් සිවුවරක් නොව මැරෙනකල්ම ජනාධිපති වුවත් කමක් නැත.