Sunday, September 21, 2014

අනගාරික ධර්මපාල චරිතය ගැන කතා කළයුතුම දේ.

 
මේ ලිපිය ලියන්න අදහස් කළේ වසර 2014 සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබූ අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙනි. අනගාරික ධර්මපාලතුමා යනු කවුදැයි කියා අමුතුවෙන් හැඳින්වීමට අවශ්‍ය නොවේ. එතුමා මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට නැවත ජීවය දුන් සැබෑ යුග පුරුෂයාය. මේ කියන්නට යන්නේ එතුමාගේ චරිතය ගැන හා වෙනත් තොරතුරු නොවේ. අපට පෙන්වාදීමට අවශ්‍ය වන්නේ එතුමා කළ යුග මෙහෙවර හා කාර්‍යභාරය තුල අප ඒ තරම් තැකීමක් නොකරන එහෙත් අප විසින් කතා කළයුතුම මට්ටමේ විශේෂ කරුනු කීපයකි.
                   මූලිකම දෙය නම් අනගාරික ධර්මපාල තුමා මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවය මත පදනම්වන ජාතිකත්වය මෑත ඉතිහාසය තුල කරලියට ගෙන ආවේ රටට ආවේනික ලෙස සිතන පතන රටට ආවේනික මතවාද ඇත්තවුන්ට නායකත්වය දෙමින් යන කරුණයි. වෙනත් ආකාරයකට කිවහොත් එතුමා මේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ට මතවාදි නායකත්වය ලබාදීමට කටයුතු කළේය. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා එතුමා සිංහල බෞද්ධ අනන්‍යතාවය ඔප්නැංවීමට කළ මෙහෙය ගැන කතා කළද ජාතික මතවාද වලට සජීවී බවක් ලබාදී ජාතියට මතවාදී නායකත්වයක් ලබා දුන් කාරනය අමතක කරති. අප එසේ කියන්නේ සිංහල බෞද්ධයන් අතර බටහිර යුදෙවු නූතනත්වය වැලඳගත් එහි මතවාද කරපින්නාගත්තවුන් කොටසක්ද සිටින බැවිනි. ඒ වචන පරිසමාප්ත් අර්ථයෙන් මොඩ්  බෞද්ධයන්ය.
                              
            මෙරට අනගාරික ධර්මපාල චින්තනය අනුව ගමන්කරන වැඩි පිරිස ග්‍රාමීය මට්ටමේ සිංහල බෞද්ධයන් වන අතර නාගරික වශයෙන් විශේෂයෙන් කොළඹ ආසන්න බස්නාහිර පලාතේ නාගරික පෙදෙස් වල වැඩිපුර ඇත්තේ බටහිර නූතනත්වය වැලඳගත් මොඩ් සිංහල බෞද්ධයන්ය. ගම් මට්ටමේ බෞද්ධ ජනයා ධර්මපාල චින්තනය අනුගමනය කරන්නේ ඔවුන්ගෙන් බහුතරය රටේ ගහකොළ පරිසරය මෙන්ම සමාජයේ සැබෑ වටිනාකම් හඳුනන බැවින් අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය ඒ සමග මැනවින් සංගත වන නිසාය. නාගරික මොඩ් බෞද්ධයන් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දින සැමරුවද සවිඥ්ඥානිකව එතුමාගේ චින්තනය තුලට එන්නේ නැත. ඔවුන්ට අනගාරික ධර්මපාලතුමා වැදගත් වන්නේ අධිරාජ්‍යවාදී ආගමික ආක්‍රමනයට එරෙහිව සටන්කළ තවත් එක් බෞද්ධ නායකයෙක් ලෙස පමණි. ඒ ඔවුන් තම දැනුම හා හිතීමේ පරාසය අනුව බටහිර යුදෙවු නූතනත්වයේ මත්වාද  සමග බුදු දහම කලවම් කරගනිමින් අමුතු මොඩ් බුදු දහමක් හදාගෙන ඒ ඔස්සේ බටහිර නූතනත්වයේම පර තෙරට යන්නට උත්සහ කරන නිසයි. එහිදී මේ මොඩ් බෞද්ධයන් බෞද්ධ අනන්‍යතාවයක් යටතේ බටහිර නූතනත්වය බටහිරටත් වඩා හොඳින් ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වනබවක් පෙනෙන්නට තිබේ. ඔවුන්ට මෙහිදී වැදගත් වන්නේ අනගාරික ධර්මපාලතුමා බුදු දහමට එරෙහි අන්‍ය ආගමික ආක්‍රමණ හමුවේ ඊට දැක්වූ ප්‍රතිචාර මිස එතුමා රටට ආවේනික අදහස් ඇත්තවුන්ගේ චින්තනය අවධි කර ඔවුන්ට ලබාදුන් මතවාදී නායකත්වය නොවේ.
                      
මොඩ් බෞද්ධයන්ගේ චින්තනයේත් රටට ආවේනික ලෙස හිතන පතන ග්‍රාමීය සිංහල බෞද්ධ චින්තනයේත් පරස්පරයන් ගැනද කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් කිරීම වැදගත් වෙයි. මොඩ් බෞද්ධයන් සාමාන්‍ය වශයෙන් බුදු දහමට වඩා බටහිර විද්‍යා දැනුම හා යුදෙවු නූතනත්වය අදහන බවක්නම් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඔවුන්ගෙන් සමහරෙක් නවීන විද්‍යාවෙන් බුදු දහම ඔප්පු කිරීමට රුසියෝය. එහිදී නවීන විද්‍යා දැනුම සමග එකට නොගැලපෙන බුදු දහමේ අන්තර්ගත කුමක් උනත් සත්‍යයෙන් තොර ලෙස ප්‍රතික්ෂේප කිරීමට ඔවුහු පසුබට නොවෙති. එහෙත් ඔවුන් අමතක කරන කාරනය වන්නේ බටහිර විද්‍යා දැනුමද බුදු දහමට අනුව මනස මුල්කරගෙන ගොඩනැගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන් ගොඩට අයත් තව එක සංරචකයක් පමණක් යන්නයි. මේ අය කරන තවත් එක් දෙයක් වන්නේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය වන්දනාවට පාත්‍ර කරමින් එය බුදු දහමට සාවද්‍ය ලෙස ගැලපීමයි. ඔවුන් එහිදී බුදුන්වහන්සේ විසින් කාන්තා විමුක්තිය සියල්ලන්ට පෙර ලබාදුන් බව කියමින් බටහිර කාන්තා විමුක්තියේ වෛරී ආකල්ප පවා බුදු දහමට ගලපන්නේ බුදු දහමට අනුව විමුක්තිය යනු සසර ගමන කෙලවර කරන නිවන බව නොදැනීමටත් වඩා කුහකකමින් එය අමතක කරදමමිනි.  මොඩ් බෞද්ධයන් බටහිර කාන්තා විමුක්තිවාදයේ ප්‍රධාන කොන්දේසියක් වන කාන්තාවන්ද ලිංග භේදයෙන් තොරව පිරිමි ලිංගිකත්වය සමග බද්ධ වී පරිනාමනයට ලක්වූ ක්‍රියාකාරකම් සියල්ලට අවතීර්න වී ස්ත්‍රීත්වය අත්හැරීමේ සමතැන්වාදය, බුදුන්වහන්සේගේ චරිත ලක්ෂණයක් වූ සමානාත්මතාවය සමග වැරදි ලෙස ගලපන්නේත් මේ අයුරින්මය. එතැනදීත් සමානාත්මතාවය යනු බුදුන්වහන්සේ විසින් සියළු ලෝක සත්වයා කෙරෙහි දක්වන එකහා සමාන වූ මෛත්‍රී කරුණා ගුණය මිස කිසිවෙක් තව කෙනෙකුට සමාන කොට සැලකීම නොවන බව මොවුන් සැබෑවට පටලාගෙන අනාගෙන ඇත. එහෙත් මොවුන් සමාජයේ පෙනීහිටින්නේ මහා ගාම්භීර පඬියන් ලෙසයි. මේ බටහිර නූතනත්වයේ සරන ගිය මොඩ් බෞද්ධයන් වෙනත් අයට බුදු දහම උගන්වන්නේද බටහිර දැනුමට සාපේක්ෂවය. ඔවුන්ගේ සාමාන්‍ය සිරිත වන්නේ බටහිර නූතනත්වයෙන් පැනනගින සියල්ල යහපත් දේ ලෙස ගෙන එවා තම තමන්ගේ මනසට ගෝචර වන ආකාරය අනුව බුදු දහමට ගලපාගැනීමය.
                     මෙරට ග්‍රාමීය බෞද්ධ ජනයාගේ චින්තන රටාව බටහිර නූතනත්වයේ අන්ධ අනුකාරකයින් වන මොඩ් බෞද්ධයන්ගේ චින්තනයට වඩා වෙනස් වෙයි. ග්‍රාමීය වශයෙන් ජීවත්වන බොදු ජනයා සොබාදහමට අනුකූල වන සම්මුතිවාදී දිවි පැවැත්ම අපේක්ෂා කරන අතර, බටහිර යුදෙවු චින්තනය මත පදනම් වන සරල රේඛීය දියුණු වීමේ මාර්ගයක එහි පර තෙරට යාමට උත්සහ නොකරති. බෞද්ධයන් හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අවබෝධය තමන්ට රහතන්වහන්සේලා හෝ බුදුවරු තරමට නැති බව සවිඥ්ඥානිකව දන්නා ඔවුහු සසර ගමන කෙලවර කිරීම ගැන යම් අදහසක් ඇතිව මිනිස් ස්වභාවයන් ගැනද අවබෝධයකින් කටයුතු කරති. සාමාන්‍ය ගැමියන් සොබාදහමේ ක්‍රියාවලීන් මිනිස් අවශ්‍යතා මත වෙනස් කරමින් එය සැම විට දියුණුව ලෙස නොගන්නේ ඒ හේතුවෙන්ය. ඒ වෙනුවට බෞද්ධ ගැමි ජනයා මිනිස් සමාජයේත් පරිසරයේ හා සත්ව ලෝකයේත් යහපත් පැවැත්මට අවශ්‍ය මූලික ගුණාංග පිළිබඳ අවබෝධයක් ඇතිව එම ගුණාංග ආරක්ෂා වන සම්මුතීන් අනුව දිවි ගෙවීමට වැඩි කැමැත්තක් දක්වති. බුදුදහම නවීන විද්‍යාවෙන් ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් ග්‍රාමීය බෞද්ධයන්ට නැත්තේ ඔවුන් බටහිරයන්ගේ මනස මුල්කරගෙන ගොඩනගන දැනුමකට වඩා බුදුන්වහන්සේ විසින් අවබෝධකරගත් ධර්මය අදහන බැවිනි. සොබාදහම හඳුනන ගැමි ජනයා බුදු දහමට බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය වැරදියට ගලපා ගැනීමට නොයන්නේ එය ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් මත පදනම් නොවන බව හොඳාකාරව දැනගෙනය. බුදු දහමටත් බෞද්ධ සමාජ දර්ශනයටත් අනුව ස්ත්‍රීත්වය හා මාතෘත්වය හරියට පිළිගන්නවා විනා කාන්තාවන් උමතුවෙන් පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරමින් පිරිමින්ට ස්වභාවයෙන් පිහිටන පෞරුෂයන්ට එරෙහිව සටන්වැදීම බුදු දහමෙන් අනුමත කර නැත.බොදු ග්‍රාමීය ජනයා මෙය අතර මේ ගැන පැහැදිලි සවිඥ්ඥානික බවක් තිබේ.
                            
අනගාරික ධර්මපාලතුමාගේ ගුණානුස්මරනය කරන මේ දිනවල අප සිහියට ගතයුතු වැදගත්ම කාරනාවක් ඇත. ඒ එතුමා නායකත්වය දුන්නේ අප මුලින් කී ආකාරයේ බටහිර දැනුමේ මානසික වහලුන් මෙන්ම යුදෙවු නූතනත්වයේ අන්ධ අනුගාමිකයින් වූ මොඩ් බෞද්ධයන්ට නොව ඉන් පසුවට සඳහන් කළ රටට ආවේනික සිතීමේ රටාවක් තුල ඉදිරියට යන්නා වූ ග්‍රාමීය බොදු ජනයාට යන්නයි. අනගාරික ධර්මපාලතුමා නියෝජනය කළේ රටට ආවේනික චින්තනයයි. එය එතුමා විසින් මෑතකාලයේ බලගැන්වුවා විනා එතුමා එය බොදු ජනයාට බලෙන් පටවා නැත. නමුත් බටහිර නූතනත්වයෙන් මොඩ් කර බටහිර මතවාද හා දැනුම කළවම් කළ මොඩ් බෞද්ධ චින්තනය බටහිර ආරයට ගිය අධ්‍යාපනය තුලින්ද බලෙන් පැටවෙයි. බටහිර නූතනත්වය සමග කළවම් වූ මොඩ් බෞද්ධ චින්තනයට නායකත්වය දුන්නේ ඕල්කට් තුමාය. එතුමා බෞද්ධ යන් වෙනුවෙන් යම් සේවයක් කළ බව අපද පිළිගන්නෙමු. නමුත් ඕලකට් චින්තනය අනුව ගිය මෙරට මොඩ් සිංහල බෞද්ධයන් අනගාරික ධර්මපාලතුමා නියෝජනය කළ රටට ආවේනික බොදු චින්තනයටත් ධර්මපාලතුමාටත් දැඩිව පහර දුන්නෝය. එතුමාට රටත් ජාතියත් ගැන දැඩි කලකිරීමක් ඇතිකරවූයේද මේ නාගරික මොඩ් බෞද්ධයන් පිරිසයි. රටත් සමාජයත් ගැන දැඩිව කළකිරුනු ධර්මපාල තුමා අවසානයේ නැවත මේ රටේ ඉපදීමටවත් නොපතා ඉන්දියාවට ගොස් එහිදී අභාවප්‍රාප්ත විය. මේ කරුනු හරියට නොදැන ඔහේ කරනවාට අනගාරික ධර්මපාල ගුණ සමරු වැඩසටහන් පැවැත්වීමෙන් පළක් නොවේ. එතුමාට හරි හැටි ගරු කරන්නේනම් කළයුතු වැදගත්ම දේ එතුමා නායකත්වය දුන් රටට ආවේනික බොදු චින්තනය නැවත අවධි කිරීමයි. එසේ නොකර ධර්මපාලතුමාට එදා පහරදුන් මොඩ් බෞද්ධයන්ම පිරිවරාගෙන අද බොරුවට එතුමා ගැන ගුණ ගැයීම එතුමාට සරදම් කිරීමක් පමණකි.

4 comments:

  1. මෙවැනි විවාදාත්මක කරුනු ගොඩක් අය දන්නේ නෑ. ඒ ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීම හොඳයි. ඕල්කට් තුමාත් බෞද්ධ ජනයා වෙනුවෙන් ගොඩක් දේවල් කළා. මම හිත්න්නේ අනගාරික ධර්මපාලතුමාට අපේ රට ගැන කලකිරීම ඇතිකළේ ඔබ කියන ආකාරයට නාගරික මොඩ් වුන බෞද්ධයන් වුවත් ඔවුන් එසේ කළේ ඕල්කට්තුමාගේ අනුදැනුමක් ඇතිව හෝ බලපෑමකින් නෙවෙයි කියලයි. ඔබ ලිපියෙන් දක්වන කාරනාව ගැනනම් මාත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඕල්කට් චින්තනය හරහා බටහිර යුදෙවු නූතනත්වයේ මතවාද වැලඳගත්තු මෙරට නූතනවාදී මොඩ් බෞද්ධයෝ තමයි ධර්මපාලතුමාට රට ගැන කලකිරෙන ආකාරයට මතවාදීව පහරදුන්නේ. ඕල්කට්තුමාගේ මග පෙන්වීමක් අනුව එහෙම උනා කියලා මමත් විශ්වාස කරන්නේ නෑ.

      Delete
  2. මේ ගැන මට මෙහෙම අදහසක් තියෙනවා (කොහොම වුනත් ධර්මපාල තුමා අනිවාර්යයෙන්ම වීරයෙක්)
    1. ඕලකට් තුමා නොහිටියනම් බුද්ධාගම හින්දු ආගම වගේ එම්බාම්කල මලමිනියක් වගේ ආගමක් වෙන්න තිබුනා වෙන්න බැරිද
    2. ධර්මපාල තුමාගේ අදහස් බොහෝ දුරට වික්ටෝරියානු සදාචාරය මත පිහිටි අදහස් නේද ඒ කියන්නේ කලිසම් කෝට් අඳින වික්ටෝරියානු සදාචාරය වෙනුවට ජාතික ඇඳුම් අඳින වික්ටෝරයානු සදාචාරයක් නේද එයා හඳුන්වා දෙන්න හැදුවේ.
    3. ධර්මපාල තුමාගේ ආර්ය නාම පාවිච්චියට හුරුකිරීමේ වැඩපිලිවෙල ඒතරම් අවශ්‍ය දෙයක් හැටියට මම දක්න්නෙ නෑ
    ඒක සමහර විට ඉන්දියාවෙදී ලබපු අද්දැකීම් මත ඇතිවුනු හැඟීමක් වෙන්න ඇති

    ReplyDelete
  3. මට මෙහෙම දෙයක් තියෙනව කියන්න. ලෝකේ එකම සදාචාර පද්ධතිය වික්ටෝරිය සදාචාරය නෙවෙයි. ලංකාව සැලකුවහම සිංහල බෞද්ධයන් කියන්නේ ලෝකේ ජාතික අනන්‍යතාවයක් ගොඩනගපු රටක් බිහිකළ ජාතියක්. එහෙම එකේ අපට ආවේනික සදාචාරයන් නොතිබුණා නෙවෙයි. ධර්මපාලතුමා ටයි කෝට් අඳින අයගේ සදාචාරයන් වෙනුවට අපට ආවේනික විදිහට හිතලා අපට හුරුපුරුදු ගුණාංග ඉස්මතුවන ලෙස ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නයි කියලයි මම හිතන්නේ.

    ReplyDelete