Thursday, May 1, 2014

මැයි දිනය හා වම


තවත් මැයි දිනයක් උදා වී ඇත. මැයි දිනයේ ඉතිහාසය ගැන බැලූ විට මෙය බටහිර කාර්මික විප්ලවය හා බැඳී පවතින බව පෙනේ. කාර්මීකරණය සමග කර්මාන්තශාලා වල සේවා පැය ගණන සම්බන්ධ ප්‍රමිතිය මුල් කරගෙන ඇතිවූ ගැටලු නිරාකරනය කිරීම මීට මුල් විය. මේ වනවිටත් ගොඩනැගී තිබූ මාක්ස්වාදය හා වාමාංශික දේශපාලන න්‍යාය මෙහිදී පෙරමුණ ගත්තේ කම්කරුවන්ට නායකත්වය හා ආරක්ෂාව සපයන නිත්‍ය බලවේගය බවට මේ වාමාංශික දේශපාලනය හා මාක්ස්වාදය පත්ව තිබීමෙනි. 
                               මේ කිසිවක් අපේ රටට විශේෂවන හෝ රට තුලින් පැනනැගුණ දෑ නොවන බැවින් මැයි දින සැමරීම ඇතුලු කාර්මීකරණය සමග ඇතිවූ අනෙකුත් වෙනස්කම් අප රටට කොපමණ යෝග්‍යදැයි අපේ ඇසින් බලා යම් විග්‍රහයක් කිරීම වැදගත් වේ. මාක්ස්වාදී වාමාංශික දේශපාලනය තුල ධනපති පංතිය, මැද පංතිය, නිර්ධන පංතිය ආදී වශයෙන් පංති ක්‍රමයක් මත පදනම්ව සියලු ප්‍රශ්න විග්‍රහ කිරීමේ අවිචාරය තිබෙන බව ප්‍රකට කාරණාවකි. අප මේ ගැන වඩා විචාරශීලීව කරුණු විමසා බැලිය යුත්තේ ඒ නිසයි. බොහෝ විට කාර්මීකරණය අනුව බිහිවූ ආර්ථික රටා තුල කම්කරුවන් ඇතුලත් වන්නේ මාක්ස්වාදී විග්‍රහයන්ට අනුව නිර්ධන පංතියටය. එය එසේම වියයුතු යැයි අප නොකියමු. නමුත් පංති ක්‍රමයට කම්කරු පංතියක්ද නිර්මාණය කරගනිමින් ආර්ථික අහේනිය පමණක් උලුප්පා සියලු ප්‍රශ්න ඒ වටා ගොනු කරගැනීම බෙහෙවින් අවිචාරශීලීය. අප අපේ කරුණු පැහැදිලි කිරීමට මුල පුරන්නේද මේ අවිචාරයෙන් අත් මිදෙන්නට අවශ්‍ය විචාරය ඇති කරන ආකාරයටයි.


                                  බටහිර කාර්මීකරනය සමග ඇතිවූ සමාජමය හා පාරිසරික විපර්‍යාස ගැන සුලුවෙන් හෝ කතා කිරීම අපගේ ඉදිරි විග්‍රහයන්ට පහසු වනු ඇත. එබැවින් ඒගැන යමක් කීමට මා කැමතිය. බටහිර කාර්මික විප්ලවයේ ප්‍රතිඵල සියල්ල අහිතකරමයි කීමට නොව මට අවශ්‍ය එහි යහපත් පැත්තට වඩා අයහපත් පැත්ත වර්ධනය වී ඇති බව කීමටයි. අප මින් පෙරද පෙන්වා දුන් ආකාරයට කාර්මික විප්ලවයත් සමග බටහිරදී යුදෙවු චින්තනය පෙරමුණ ගත්තේය. මිනිස් ක්‍රියාකාරකම් වැඩි දියුණු වීමේදී කාර්‍ය පහසු කරවන මෙවලම් යන්ත්‍ර සූත්‍ර අනවශ්‍ය යැයි අප නොකියමු. එහි අවශ්‍යතාවයක් පැහැදිලිව තිබේ. නමුත් කාර්මීකරණයේ යම් ප්‍රමිතියක් තිබියයුතුය. බටහිර කාර්මික විප්ලවය සමග ආර්ථික රටාවන් කාර්මික ආර්ථික රටා බවට පත්වීමේදී මූලිකව සිදුවූයේ කාර්මීකරණය වානිජත්වය දෙසට තල්ලු වී යෑමයි. ඉන් පසුවට සියල්ල ඉදිරියට ඇදුනේ වානිජ පරමාර්ථයන් මුල්කරගෙන විය. යුදෙවු චින්තනය ප්‍රමුඛත්වයට පත්ව තිබූ සමාජ තත්වයක් තුල මනස පාලනය කිරීමට කිසිදු වටිනාකමක් හිමි නොවීය. ඒය ප්‍රගතියට බාධාවක් මෙන්ම දුර්වලත්වයේ සංකේතයක් ලෙස පිළිගැණිනි. වානිජ පරමාර්ථ හරහා මිනිස් අවශ්‍යතා තව තවත් සංකීර්ණ වී පාරිසරික වටිනාකම් මෙන්ම සාමූහිකත්වය වැනි සමාජමය වටිනාකම්ද ගිලිහී ගියේ ධනය රැස්කිරීමේ පුද්ගල නිදහස හා ආත්මාර්ථකාමීත්වය ඉස්මතු වීමත් සමගයි. මෙවැනි තත්වයක් තුල කම්කරුවාගේ භූමිකාව වූයේ ධනය එක් රැස් කිරීමේ මූලික පරමාර්ථයෙන් කටයුතු කරන කර්මාන්ත හිමිකරුවන්ට විශාල ධනස්කන්ධයක් උපයා දී අධික සම්පත් පරිභෝජනයට දායක වන අතරතුර තමන්ට ලැබෙන සුලු ප්‍රතිලාභය සාමූහිකව බෙදා හදාගෙන භුක්ති විඳීමය. මේ තත්වය සාධාරණ යැයි අප නොකියමු. ඒ තුල කම්කරුවා මුහුණදෙන ගැටලු වලට පිළිතුරු ලෙස මාක්ස්වාදී වාමාංශික දේශපාලනය ඉදිරිපත් කරන එකම විසඳුම වන්නේ කම්කරු නිර්ධන පංතිය ධනපති කර්මාන්ත හිමිකරුවන්ගේ පංතිය සමග ගැටෙමින් ඔවුන් බුක්තිවිඳින සැපසම්පත් සියල්ල ඒ හා සමානව තමන් වෙතද ලඟා කරගැනීමට උත්සහ දැරීමයි. මෙය කොහෙත් ප්‍රායෝගික නැත.
                                   
     මාක්ස්වාදී වාමාංශිකයන් ධනපති පංතිය යැයි කියන කොටස පරිහරනය කරන භාණ්ඩ ඇතුලු ඔවුන් භුක්ති විඳින සියලු ධන සම්පත් කම්කරුවන් ඇතුලු නිර්ධන පංතිය වෙත ලඟාකරගත හැකිද? එයට ම්ලොව භෞතික සම්පත් ප්‍රමාණවත්ද? කොහෙත්ම නැත. එය කිරීමට යෑම යනු මෙලොව මිනිස් සංහතියේ පැවැත්ම තවත් කෙටි කරගැනීමට මග පාදා ගැනීමයි. ප්‍රමිතියෙන් තොර කාර්මීකරණයේ අහිතකර ඵල විපාක ලැබෙන මේ කාලයේ මිනිසුන් විසින් කළයුතු පළමු කාර්‍ය වන්නේ අසීමිත සම්පත් භුක්ති විඳීමට තිබෙන උවමනාව පසෙක තබා කාර්මීකරණයෙන් පසුව ලෝකයට ඇතිවූ අහිතකර දෑ මොනවාද යන්න තේරුම් ගැනීමයි. එය අවංකව වටහාගත හැකිනම් ඉන් මතුවට කළයුත්තේ කර්මාන්ත කිරීම ඇතුලු මිනිස් ක්‍රියාකාරකම් වලට නිසි ප්‍රමිතියක් තබාගැනීම හා වානිජ පරමාර්ථ වලට මුල්තැන දී කරන පාරිසරික හානියත් සමාජයට කරන හානියත් නැති කිරීමයි. බටහිර කාර්මීකරණය සමග සියල්ල වානිජ කරනය උනා පමණක් නොව අධිරාජ්‍යවාදය හරහා ලොව පුරා රටවල දේශීය සම්පත් පරිහරන රටා ආනයන අපනයන ආර්ථික බවට පත්වෙමින් ජන ජීවිත පවා බටහිර කර්මාන්ත වල ක්‍රියාකාරිත්වයට ගැට ගැසිනි. අපද රටක් හැටියට මෙහි බලපෑමට හසුවී ඇත්තෙමු. අපට සිහි බුද්ධියක් ඇත්නම් දැන්වත් මේ මර උගුල් වලින් ගැලවීමට කටයුතු කළයුතුය. එහිදී මාක්ස්වාදී වාමාංශික දේශපාලනයෙන් ලැබෙන රුකුලක් නැත. කළයුත්තේ අපට අවේනික චින්තනය අවධිකරගැනීමයි. බටහිර හෝ වේවා ආසියාතික හෝ වේවා වෙනත් කොහේ හෝ වේවා ලොව කොහේදිත් ඒ ඒ රටවලට ආවේනික වූ සම්පත් පරිහරන රටාවල් පැවතී ඇත. අපේ රට සම්බන්ධයෙන්ද එය එසේමය. එමෙන්ම රට රටවලට ආවේනික සම්පත් පරිහරන රටාවන් සමග ඒ ඒ රටවලට ආවේනික සමාජ හර පද්ධතීන්ද ගොඩනැගී තිබේ. රස්සාව, වැටුප, නිවාඩුව සේවක අයිතිය ආදිය බටහිර කාර්මික විප්ලවය හා කාර්මීකරණය සමග පැනනැගුණු සංකල්ප වේ. බටහිරම සැලකුවද ඊට පෙර රට රටවල පිරිමි ජනගහනය පරිසරය සමග ගැටෙමින් සම්පත් කලමනාකරනය කිරීම පදනමට ගනිමින් ඒ ආශ්‍රිත ඕනෑම කටයුත්තක් කිරීමට සුදුසු ලෙස හැඩගැසී තිබිණි. අනෙක් අතට ගැහැනු ජනගහනයම ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ගෘහ ජීවිත තුලදී විවිධ කුඩා පරිමාණ ගෘහ කර්මාන්ත කරමින් කාන්තාවන්ට ආවේනික ක්‍රියාකාරකම් පද්ධතියක්ම පවත්වාගෙන ගොස් තිබේ. මේ දෙකම කාර්මීකරනය තුල කර්මාන්ත වලට කොටු වෙමින් මාසික වැඋපක් ලබාගෙන ඒ තුලට සියල්ල ගොනු කරන පටු සිද්ධියට වඩා අතිශය පුළුල් පරාසයක පවතින දේවල්ය.මෙය ලොව සෑම රටකටම වාගේ පොදුවේ පැවති තත්වයකි. අප අදටත් පරමාදර්ශ කොට සැලකියයුත්තේ එම ගුණාංග වේ. 

           බටහිර වාමාංශික දේශපාලනය හා මාක්ස්වාදය අනුව යමින් අප තවදුරටත් කළයුත්තේ රටේ පාරිසරික සාධක, සමාජ තත්වය හා ස්වභාවික සම්පත් පරිහරන රටාවට නොගැලපෙන මට්ටමේ මහා පරිමාණ කාර්මීකරනයක් බලෙන් ආදේශ කරගනිමින් සාමාන්‍ය සරල ජීවිතයක් ගෙනගිය මිනිසුන් කම්කරුවන් බවට පත් කර ඔවුන්ට නැති ප්‍රශ්න ඇතිකර බටහිර මාක්ස්වාදී අර්තකථනද ලබාදීම නොවේ.  අපට මොළයක් ඇත්නම් හිතන්නට අප පළමුව කළයුත්තේ බටහිර මෙන් වානිජ පරමාර්ථ මත දැනුම මෙහෙයවීම නවතා ජාතික අරමුණු වෙනුවෙන් එය කිරීමයි. එවිට සාමූහිකත්වය සමාජයේ සංවිධානාත්මක බව ආදිය පුද්ගලික ආත්මාර්ථකාමී බලාපොරොත්තු වලට වඩා ඉදිරියට පැමිණේ. එවිට කර්මාන්ත කිරීම වුවද අපට අවශ්‍ය ලෙස රටට ගැලපෙන ආකාරයට කළ හැක. එයට මාක්ස්වාදය හෝ බටහිර වාමාංශික දේශපාලනයේ බොරු බේගල් අවශ්‍යද නැත. අපට ඒ ටික කලහැකිනම් මැයි දින සැමරුවේ නැතැයි කියා ප්‍රශ්නයක්ද ඇති නොවේ.       

3 comments:

  1. අනේ මුන්ගේ මැයි රැලි

    ReplyDelete
  2. මාක්ස්වාදී වාමාංශිකයින් අමුතුවෙන් බටහිර පවතින ධනවාදය ලංකාවට ගෙන ඒමට වෑයම් කරනවා නම් ඔබ කියන දෙයෙහි පදනමක් ඇත. ඒත් යථාර්ථය නම් ධනවාදය මේ වනවිටත් ලංකාවේ භෞතිකයක් ලෙස පැවැතීමයි. ධනවාදය පවතින්නේ කොතැනද එතැනදී වැටුප් ශ‍්‍රමික පංතිය සහ ප‍්‍රාග්ධන හිමියන් කියා දෙකොටසක් හටගනී. මාක්ස්වාදීන්ට අමුතුවෙන් එය ඇතිකිරීමේ උවමනාවක් නැත. සිංහල ජාතිකත්වය පාවිච්චි කරලා අතරමැද සමාජ ස්ථරවල සහයෝගය දිනාගෙන මහින්ද රාජපක්ශ රෙජිමය අද ලංකාව තවදුරටත් ගෙන යමින් තිබෙන්නේ ධනවාදී සංවර්ධනය දිශාවටය. මේ නිසා පංති අරගලය ගැන අදහස බටහිර තිබෙන දෙයක් කොපි කිරීම නිසා ඇති වෙන දෙයක් නොව ලංකාවේ සිදුවූ හා සිදුවෙමින් තිබෙන ඇත්ත ක‍්‍රියාදාමයකින් හට ගැනෙන්නක්.

    සමාජවාදය කියන්නෙ නිකම්ම නිකම් ධනපති පංතිය සතු පරිභෝජන මට්ටම සෙසු ජනතාව වෙත ලගා කරගැනීමක් කියා නිර්වචනය කරන එක නිවැරදි නැත. සමාජවාදයේ අදහස සූරාකෑම අහෝසි කිරීමයි. සූරාකෑමත් ලාභ අරමුණත් පෞද්ගලික දේපලත් අත්පත් කරගත්තාට පස්සේ මිනිසාට සැලසුම්සහගතව ස්වකීය ජීවිතය සංවිධානය කරගන්න පුලුවන්. පරිසර අවශ්‍යතා සහ භෞතික ජීවන අවශ්‍යතා අතර තුලනයක් ඇති කරගන්න පුලුවන් එවිටයි. අද පරිසරය විශාලම ප‍්‍රශ්නය වී තිබෙන්නේ ලාභය වෙනුවෙන් පරිභෝජනවාදී සංස්කෘතියක් ප‍්‍රවර්ධනය කරමින් සිටින ධනවාදී සංවර්ධන මාදිලිය.

    ReplyDelete
    Replies
    1. ධනවාදී අන්තය මමත් අනුමත කරන්නේ නෑ. නමුත් මෙතන එක දෙයක් ඔබට පිළිතුරු වශයෙන් කියන්න ඕනේ. ඒ තමයි ධනවාදය හා පංති අරගලය බටහිරින් කොපි කළා කියලා නෙවෙයි මම කියන්නේ. මම මෙතනදි පෙන්වා දෙන්නේ අපේ රටේත් ධනපතියන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා දුප්පතුන් පීඩාවට ලක්වෙනවා මේක මාක්ස්වාදය මත පිහිටා බටහිර සමාජය තුල ප්‍රශ්න විග්‍රහ කළ ආකාරයට කරන්න බෑ කියන එක. අපේ රටේ මාක්ස්වාදීන් කරන්නේ බටහිර ධනවාදය හා පංති ක්‍රමය කොපි කිරීම නෙවෙයි මාක්ස්වාදය මත පිහිටා අපේ රටේ ප්‍රශ්න වලට නොගැලපෙන අර්ථකථන දෙන්න යන එක. අනෙක බටහිර කාර්මික විප්ලවයත් එක්ක වානිජ පරමාර්ථ ඉලක්ක කරගෙන බිහිවෙච්ච වානිජ කාර්මික ආර්ථික රටාව නිසා ලෝකයම පීඩා විඳිනවා. ඒක මගහරින්න ඒ කාර්මික ආකෘතිය තුලම ඉඳගෙන බෑ. සංවර්ධනය, රැකියාව, පඩිය ,නිවාඩුව, අර්ථසාධකය, හා සේවක අයිතිය යන සියලු සංකල්ප කාර්මික විප්ලවය හා කාර්මීකරණය සමග බටහිර ඇතිවෙච්ච දේවල්. ප්‍රාග්ධනය, අතිරික්ත වටිනාකම හා සූරාකෑම වගේ වචනත් ඒ ආකෘතිය තුලම තියෙන දේවල්. අපි අපේ ප්‍රශ්න ඉන් බැහැර වෙනම ආකෘතියක් තුල විසඳා ගතයුතුයි. අපට එය කරන්න පුලුවන්. ඒකට බාධා බාධාවක් ඇත්නම් ඇත්තේ අපට අපේ ක්‍රමයකට හිතන්න ඉඩ නොදෙන බටහිර මතවාදී ඒකාධිකාරයයි. මාක්ස්වාදය උනත් අයිති වෙන්නේ ඒ ගොඩට.

      Delete