Tuesday, February 25, 2014

වෙනුෂාගේ මරණය,පාසල් අධ්‍යාපනය, සමාජ කුහකත්වයන් හා කාන්තා විමුක්තිය.



කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ සිසුවියක වූ වෙනුෂා ඉමන්දිගේ මරණය ගැන බොහෝ දෙනා කාතා කළද මේ සිද්ධියට බලපෑ සමාජමය දුර්වලතාවය කුමක්දැයි කිසිවෙකුත් කෙලින් කියන පාටක්නම් පෙනෙන්නට නැත.
                       සිද්ධියට හේතු වී තිබුණේ අදාල පාසල් සිසුවිය ෆේස්බුක් එකේ ගිනුමක් පවත්වාගනිමින් එහි ඇතුලත්කළ පින්තූර කිහිපයකි. එහිදී සිසුවිය ඉගෙනගත් පාසලේ විදුහල්පතිවරයා ආවේස වීමට හේතුවු කරුණ වී තිබුණේ ඇය තවත් පිරිමි ළමයෙකු සමග එකට හිඳිමින් ගනු ලැබූ ඡායාරූපයකි. අපේ රටේ අධ්‍යාපන බලධාරීන් බොහොමයකගේද මානසික තත්වය මේ ආකාරම වේ. මේ අවාසනාවන්ත මරණය පසුපස ඇති සමාජ දුර්වලතාවයද මෙයයි. අප බුද්ධිමත්ව විමසා බැලියයුත්තේද මේ කාරණාව ගැනමය.
                        එය මෙසේ සිදු වූයේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව ලිංගිකත්වය මත පදනම් වන සමාජ කුහකත්වයන්ට බොරු වටිනාකමක් සමාජය තුලින් නිර්මාණය වී තිබීමත් එම කුහකත්වය මේ පාසලේ විදුහල්පතිවරයා වැන්නන් ආභරණයක් කරගෙන තිබීම හා මේ කුහකයන් සමාජය තුල මෑත කාලයේ ප්‍රභූත්වයක් ආරූඪ කරගෙන තිබීම යන කාරනා නිසාවෙනි. මේ සිද්ධිය අපට මතක්කර දෙන්නේ මැදපෙරදිග තිබෙන අන්තවාදයයි. අප මින් පෙරද මෙවැනිම සිද්ධියක් ගැන ලිපියක් පලකළෙමු. ඒ පාසල් සිසුවියකගේ නිල ඇඳුමේ දිග ප්‍රමාණය ප්‍රෂ්ණයක් කරගෙන විදුහලේ විනය භාර ගුරුවරිය ඇයට දොස් කීමෙන් කෝපයට පත් සිසුවියගේ මන්ත්‍රී පියා පාසලට පැමිණ විනය භාර ගුරුවරිය දණගැස්සවීමේ සිද්ධියකි. එයද වාර්තා වුනේ කුරුණෑගල ප්‍රදේශයෙන්මය. එහිදී එම සිද්ධිය ගැන බුද්ධිමත් විචාරයක් කිරීමට ලොකු බාධාවක්ව තිබුණේ සිසුවියගේ පියාගේ නොමනා හැසිරීමයි. ඔහුගේ නොමනා

කල්ක්‍රියාව අර විනයභාර ගුරුවරියගේ ක්‍රියාකලාපයේ වැදගැම්මකට නැති බව ගැන නිසි විචාරයක් කිරීමට තිබූ ඉඩකඩ ඇසිරුවා පමණක් නොව මේ ගුරුවරිය වීර චරිතයක් බවටද පත් කළේය. 

   

                   දැන් අප එය මොහොතකට පැත්තකින් තියා වෙනුෂා සිසුවියගේ සිද්ධිය දෙස අපගේ අවධානය යොමු කරමු. මේ සිද්ධියේදීද කුහකත්වය ආභරණයක් කරගත් අන්තගාමී විදුහල්පතිවරයා අර සිසුවිය මානසික රෝගයකින් පෙලී ඇති බව කියමින් මිනිස් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයට අල්පමාත්‍රයක්වත් ගරු නොකරන මනෝගතිය තුල තවත් දැඩිව එල්බගැනීමට උත්සහ ගෙන ඇත. එහෙත් එයින් ඔහුට ගැලවිය නොහැක්කේ ඇත්තටම මානසික රෝගී තත්වයකින් පෙළෙන සිසුවියකට වුවත් අසභ්‍ය වචන භාවිතා කර බැනවදිමින් පිස්සෙකු මෙන් හැසිරීම සියල්ලට අන්ත බැවිනි. මෙහි හාස්‍යජනක කරුණ වී තිබුණේ සිසුවියගේ ෆේස්බුක් පිටුවේ ඇය පිරිමි ළමයෙකු සමග ගත් පිතූරයක් දෙස බලා මෝඩ විදුහල්පතිවරයා ඇගේ වල්කමක් ගැන තීන්දු කර තිබීමයි. සමහර ගම්වල ඕපදූප හොයන්නන් කෙල්ලෙක් කොල්ලෙකු සමග කතා කරනු දුටුවත් කෙල්ලගේ බඩට ළමයෙකුත් දමා උප්පැන්න හදා ඉවරය. මේ විදුහල්පතිවරයාගේ ක්‍රියාවද ඊට නොදෙවෙනි එකකි. ගැහැනු ළමයෙකු පිරිමි ළමයෙකුත් සමග පින්තූරයක් ගැනීමේ වරද කුමක්ද? පින්තූරය අනුව සිසුවිය එම පිරිමි ළමයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇත්තටම පැවැත්වුවත් එය සිදුවිය නොහැක්කක් නොවන්නේ ඇය ලිංගිකව පරිනත වයසට එළඹ සිටීමත් ලිංගිකත්වයේ ස්වභාවයට එය පටහැනි නොවීමත් නිසාය. ඒ ගැන විදුහල්පතිට ප්‍රශ්නයක් ඇත්නම් ඔහු කළ යුතුව තිබුණේ එම සිසුවියගේ මවුපියන් සමග එය කතා කිරීමයි. මොකද ඇය ගැන තීරන ගැනීමට විදුහල්පතිට වඩා මවුපියන්ට අයිතියක් ඇති නිසා. එහෙත් විදුහල්පතිවරයා පාසල වදකාගාරයක් කරගත්තේ අප සියල්ලන්ට මැදපෙරදිග අන්තවාදය සිහිගන්වමිනි.
                                 ලිංගිකත්වයේ ස්වභාවය දැකීමෙන් උරණ වන ගතානුගතික මෝඩකම ගැන විශ්ලේෂණයක්ද අප විසින් කළයුතුව ඇත. එය සමාජයක් වෙලාගත් කුහකගතියකි. කුහකත්වයකට මෙතරම් වටිනාකමක් දෙන්නට හේතුව කුමක්ද? මේ කතාව කී විට කුහකත්වය ආභරණයක් කරගත්තෙකු අසනු ඇත්තේ සදාචාරයක් තිබියයුතු නැත්ද යන්නයි. එයට පිළිතුරු ඇත. ලිංගික සදාචාරය යනු නිරපේක්ෂ දෙයක් නොවේ. එය මනුස්ස සමාජයක් විසින් අනුමත කරන ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයට එකඟව ගොඩනැගෙන ලිංගික ජීවනරටාවක් නිසි පරිදි ගෙනයෑමට අවශ්‍ය අවම සම්මුතීන් එකතුවක් වේ. එසේ නොමැතිව මේ කතාවේ අර විදුහල්පති කුහකයා වැන්නන්ට අනුව ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයටත් සොබාදහමටත් පිටින් ගොස් මනුස්සයන් ලිංගිකව පීඩාවට පත් කිරීමට නිරපේක්ෂ වශයෙන් මිනිස් වර්ගයා වෙත කඩාපාත්වන කුහකත්වයන් එකතුවක් නොවේ. සපත්තුවක් දැමියහැක්කේ කකුලක් ඇත්නම් පමණි. එසේම ලිංගික සදාචාරයක් පැවතිය හැක්කේ සොබාදහමෙන් ලිංගික ක්‍රියාවලියක් නිර්මාණය වී තිබුනොත් පමණක් වේ. සපත්තුව සෑදිය යුත්තේ කකුලට ගැලපෙන විදිහට මිස කකුල සපත්තුවට අවශ්‍ය ආකාරයට සැදිය නොහැක. එලෙසම ලිංගික සදාචාරයද ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය පිළිගෙන එය නියෝජනය කරන්නක් වියයුතු විනා ලිංගික සදාචාරයට අවශ්‍ය පරිදි ස්වභාවධර්මයෙන් නිර්මාණය වී ඇති ලිංගිකත්වයේ ස්වරූපය විකුර්ති කිරීමට පුලුවන්කමක් තිබිය නොහැක. එසේ වියයුතු යැයි කුහකයෙකු කියන්නේනම් එයට සදාචාරය කීමට අප සූදානම් නැත. එය හැඳින්විය හැක්කේ කුහකත්වයක් ලෙස මිස සදාචාරයක් ලෙස නොවේ.

                                 පාසල් වල විනයක් කියා දෙයක් තිබියයුතුය, එහෙත් එය ළමුන් පීඩාවට පත්කරන්නක් නොවියයුතුයි. එසේම පාසල් වල තිබියයුතු විනය පාසල් බලධාරීන්ට මෙන්ම ළමුන්ට හා දෙමවුපියන්ට එක ලෙස පිළිගෙන පොදු එකඟතාවයකට ආහැකි කොන්දේසි මාලාවක් වියයුතු වේ. ඊට කෙසේවත් ලිංගිකත්වය මත පදනම් වන සමාජ කුහකත්වයන් අන්තර්ගත වියයුතු නැත. එවැනි කුහකත්වයන්ගෙන් තොරව පාසලක් පමණක් නොව මිනිස් ප්‍රජාවක්ම වුවත් යතින් පැවතිය හැක. අනෙක වෙනුෂාගේ සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා පමණක් නොව මෙරට අධ්‍යාපන බලධාරීන් ඇතුලු සියලු පාසල් බලධාරීන් දැනගතයුතු තවත් දෙයක් ඇත. එනම් පාසල් ළමුන් යනු ඔවුන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් විෂයමාලාවන් ඉගැන්වීමටම කෘතීමව හදපු හැඟීම් දැනීම් නැති රොබෝලා නොවන බවයි. ඔවුන්ද හැඟීම් දැනීම් ඇති ගැහැනුන් හා මිනිසුන්ගේ මේ කුහකයන් කුහකත්වය ආභරණය කරගනිමින් බොරුවට පිළිකුල් කරන ස්වභාවික ලිංගික ක්‍රියාවලියකම ප්‍රතිඵල ලෙස බිහිවි ඇත. ඔවුන් වයසින් වර්ධනය වන්නේ නිකම් මස් ගොඩ ලොකු වන ආකාරයටම නොව පාරිසරික හා සමාජ අත්දැකීම් තුලින් මනසද සමබරව වැඩෙන අයුරිනි. මේ ක්‍රියාවලියට දරුවන් ලිංගික වශයෙන් මුහුකුරා යෑමද අයත්ය. ලිංගික වශයෙන් මුහුකුරා යන වයස් මට්ටමේ සිටින ළමුන් තම විරුද්ධ ලිංගිකයන් ගැන උනන්දුවක් දැක්වීම සාමාන්‍ය දෙයකි. එය පාසල කියා වෙනස් වන්නේ නැත. පාසලට බොරු පූජනීයත්වයක් ලබාදී මේ ස්වභාවය බලෙන් යටපත් කිරීමටද නොහැකිය.
                                    නාවලපිටිය ප්‍රදේශයේ තවත් එක් බාලිකා පාසලකින් වාර්තා උනේ තම ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇහිබැම සකස් කරගෙන පාසලට පැමිණි සිසුවියකට ඒ ගැන විනය භාර ගුරුවරියක් දොස් පැවරීමයි. මෙයද අප මින් පෙර ලිපියක පෙන්වාදුන් ගවුම් වාටිය දික්කිරීමේ බොරු විනය සිද්ධියට බෙහෙවින් සමාන ගොන් පාට් එකකි. මේ කුහක පාසල් බලධාරීන් හා අධ්‍යාපන නිලධාරීන් තවත් සිතා සිටින්නේ ඔවුන්ව මුලු සමාජයම ප්‍රභූත්වයේ ලා සලකමින් ඔවුන්ගේ කුහක ගොන්කම්ද අනුමත කළයුතුය කියායි.  පාසල් තුල සිදුවන කිසිවෙකුට අනුමත කළ නොහැකි විනය විරෝධී ක්‍රියා තවත් තිබේ. බොහෝ පාසල් සිසුන් බිග් මැච් කාල වකවානුව තුල සිගරට් අරක්කු ඇතුලු මත්ද්‍රව්‍ය වල රහ බලන අයුරු කාටත් නොරහසකි. එමෙන්ම ඊනියා ජනප්‍රිය පාසල් බොහොමයක ශිෂ්‍ය නේවසිකාගාර වල සමලිංගික විකුර්ති කාම අපචාර කොතෙකුත් සිදුවේ. ( ඇතැම් ළමුන්ගේ මේ විකුර්ති ලිංගික හැසිරීම් බොහෝ විට කුහකකම් කරපින්නාගත් පාසල් බලධාරීන්ටත් අධ්‍යාපන නිලධාරීන්ටත් ගැටලුවක් නොවනු ඇත්තේ එයින්  මොවුන්ගේ හිතීමේ පරාසයට අනුව ගැබ්ගැනීම් වැනි ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු නොවීමෙ කාරනාව මත වන්නට  බොහෝ සෙයින් ඉඩ ඇත ). නවක වදය නමින් තමන් වැනිම තවත් සිසුවෙකු හින්සාවට ලක්කර විකුර්ති තෘප්තියක් ලැබීමට ළමුන් පෙළඹෙන්නේද පාසල තුලිනි. අර වෙනුෂා සිසුවියගේ ප්‍රශ්නයේදී යක්ෂාවේස වී ෆේස්බුක් පින්තූරයකට යකානැටූ අමන විදුහල්පතිවරයා වැනි පාසල් බලධාරීන් විසඳියයුතු සැබෑ ප්‍රශ්න මේවායි. එහෙත් මේ එකකටවත් මොවුන්ට පිළිතුරු නැත. ඇත්තේ වෙනුෂාගේ සිද්ධිය වැනි සිදුවීම් වලදී අහින්සක පාසල් සිසුන් තම කුහක මනසේ මෝඩ තෘප්තිය වෙනුවෙන් දඬුවමට ලක්කර ගොන් ආතල් ගැනීමට ඇති හැකියාව පමණි.
               

                    අප බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ තවත් කරුණක් මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළයුතුවම ඇත. ඒ මෙවැනි සිදුවීම් හමුවේ මෙරට කුහක කාන්තාවිමුක්තිවාදීන් එන්.ජී.ඕ කණ්ඩායම් ඇතුලු කාන්තා අයිතීන් ගැන කතා කරන සංවිධාන මුනිවත රැකීමයි. වෙනුෂා සිසුවිය පිරිමි ළමයෙකු සමග සම්බන්ධයක් පැවැත්වූයේනම් එය විෂම ලිංගික වන බැවින් ඒ වෙනුවෙන් පෙනී හිටීම තම බටහිර කාන්තා විමුක්ති න්‍යායපත්‍ර වලට විරුද්ධ නිසා ඔවුන් මෙවැනි සිදුවීම උවමනාවෙන් මගහරිති. වෙනුෂාගේ සිද්ධිය පසෙක තිබියදෙන්, යම්කිසි ජනප්‍රිය බාලිකා පාසලක නේවාසිකාගාරයක් තුල සිදුවන ඇතැම් සිසුවියන්ගේ සමලිංගික විකුර්ති හැසිරීම් වලට එරෙහිව පාසල් බලධාරීන් විනයානුකූලව කටයුතු කර සුලුවෙන් හෝ දඬුවම් කළේනම් මේ ඊනියා කාන්තා විමුක්තිකාමීන් වලිගය පත්තු කරගෙන ලිප්ටන් එක වටේ බෙරිහන් දෙමින් යකා නටන ආකාරය කාටත් බලාගන්නට පුලුවන. ඒ  සමලිංගිකත්වය සාධාරණීකරනය කර ඊට දිරි දීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කොන්දේසියක් වන බැවින් වේ.   
                              

       පාසල් බලධාරීන් මේ ආකාරයට යකා නටමින් තම කුහකත්වයේ ආටෝපය පෙන්වීමට ළමුන්ගේ ජීවිත සෙල්ලමට ගන්නේනම් ඒගැන මෙරට මවුපියන් මෙන්ම අනාගතයට දරුවන් හැදීමට සිටින පිරිසද ඇතුලුව මුලු මහත් ප්‍රජාවම මෙය වැලැක්වීමට නිසි පියවර ගතයුතුව තිබේ. මෙරට අතීත සමාජයේ තිබූ ලිංගිකත්වය වටා ගොඩනැගුණු සැබෑ වටිනාකම් මොනවාද යන්න සොයා බලා මෑත කාලයේ සමාජ කුහකත්වයන් මත ගොඩනැගුනු බොරු වටිනාකම් වලින් ඒ සියල්ල වෙන්කරගැනීම අප හැකි ඉක්මනින් කළයුතුව ඇත.එසේ වෙන්කළයුතු වනවා පමණක් නොව ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් ලිංගිකත්වය අනුව වෙන් වෙන්ව ලිංගික සුවිශේෂීතාවයන් පදනම් කරගෙන හැඩගැස්වීම ඇතුලු අප සමාජයේ ලිංගිකත්වයට අදාල සැබෑ වටිනාකම් අධ්‍යාපනයටද ඇතුලත්වියයුතු බව අප නොබියව ප්‍රකාශ කරමු. එසේ නොවුවහොත් මේ මෑතදී විශේෂයෙන් පාසල් අධ්‍යාපනය හරහා අටවන ලද ලිංගිකත්වයේ ස්වභාවයට පටහැනි බොරු ආචාරධර්මයන් මුලු සමාජයම අන්ධ කරනු ඇත. 
 
 ගොසිප් ලංකා ලිපිය

4 comments:

  1. හුරේ උඹ ආයෙ ආවද ජය වේවා

    ReplyDelete
  2. ඔබේ අදහස් වලට එකඟ වෙමි.මේ ගැන මාතලන් ලිපියක් පළ කලා.උබ කොමෙන්ට් දැම්මනම් අපිට එතන තව ශක්තියක් වෙනවා.හැංගිලා ඉන්න එපා වරෙන් මචන්.

    ReplyDelete
  3. ප්‍රතිවාදියා අයියේ මටනම් මේ කාන්තා විමුක්තිය ගැන ඒ හැටි ලොකු දැනුමක් නෑ. නමුත් ඔබතුමාටනම් මේ ගැන ඉහල දැනුමක් තියෙන බව පේනවා. ඔබාතුමාගේ බ්ලොග් එක බැලීමෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා. මමත් මේ පාසල් සිසුවියගේ සිද්ධියගැන මගේ බ්ලොග් එකට ලිපියක් දැම්මා. අයියට පුලුවන්නම් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න.

    ReplyDelete