Tuesday, December 17, 2013

බොරු සංවර්ධනය හා පරිසර වටිනාකම්.

සංවර්ධනය යන වචනයම අපේ නිර්මාණයක් නොවේ. එය බටහිර කාර්මික විප්ලවයෙන් පසුව බලවත්වී පෙරමුණ ගත් යුදෙවු චින්තනයෙන් පැනනැගුනකි. යුදෙවු චින්තනය සමස්ථයක් ලෙස පරිසරයට හා සොබාදහමට අනුකූල ලෙස මනස මෙහෙයවීමට ඉඩ දෙන්නක් නොවේ. කාර්මික විප්ලවයෙන් පසුව කාර්මීකරණය පාරිසරික වටිනාකම් අභිබවා බටහිර වැඩි වටිනාකමක් අත්කරගැනීමද යුදෙවු චින්තනයට අනුව සිදුවූවකි. සංවර්ධන මූලධර්මයන්ගේ පැනනැගීමත් සමග කාර්මික විප්ලවයෙන් පසු අසීමිත ලෙස මිනිස් අවශ්‍යතා සංකීර්ණ කරගනිමින් පාරිසරික හා සොබාදහමේ වටිනාකම් කුනු කූඩයට දැමීමද ඇරඹුණි. වඩා භිහිසුණු දෙයනම් බටහිර කාර්මීකරණය හා එහි පදනම වූ බටහිර දැනුම මුලුමනින් වාණිජ ප්‍රමාර්ථ පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වීමයි. බටහිර අධිරාජ්‍යවාදය හරහා ලොවපුරා පැතිරගියේ මේ ආර්ථික රටාවය. එහිදීද බටහිරයන් යටත්විජිත ලෙස තබාගත් රටවල් ඔවුන්ගේ කර්මාන්ත වලට අමුද්‍රව්‍ය සපයන ප්‍රභවයන් ලෙස පවත්වාගන්න ලදි. කෙසේ නමුදු මේ වනවිට සිදුවී තිබෙන්නේ සොබාදහමට හිතවත් නොවන පරිසර විනාශකාරී අධික පරිභෝජනය හා අසීමිත අවශ්‍යතා ඉලක්කකරගත් කාර්මික ආර්ථික රටාවල කොටස්කරුවන් බවට ලොව සියල්ලන් පත්ව සිටීමයි. මේ කාර්මීකරණය හා අධික පරිභෝජනය හරහා පරිසරය වනසමින් හිටි අඩියේ පාරිසරික වටිනාකම් මතක්වූ බටහිර මෝඩ සුද්දෝ ලෝක පරිසර දිනයක්ද සම්මත කරගත්තෝය.
                                 කවරෙක් කුමන කතාවක් කීවද, දිනෙන් දින කාර්මීකරණ උමතුව ඊනියා සංවර්ධනය හරහා ලොවපුරා වසංගතයක් මෙන් පැතිර යද්දී වසරක් පාසා සමරන ලෝක පරිසර දිනයෙන් ලෝකයට පලක් නැත. ඊට හේතුවනම් සංවර්ධන මූලාශ්‍රයන් තුල පාරිසරික සමතුලිතතාවයන් රැකීම ගැන කවර හෝ කොන්දේසියක් නොමැති වීමයි. ඒ අනුව අධික පරිභෝජනයටත් මිනිස් අවශ්‍යතා සංකිර්ණ කිරීමටත් ප්‍රමුඛත්වය දෙන, එමෙන්ම වානිජ පරමාර්ථ වලට අනුව ඉදිරියට යන කාර්මීකරණය මත පදනම් වන සංවර්ධන සංකල්පය හිසේ පුරවාගත්තවුන්ගෙන් පරිසරය රැකීමට රුකුලක් ලැබේ යැයි විශ්වාස කළ නොහැක.  අධික ජනගහන වර්ධනය සියල්ලට එකම හේතුව යැයි කෙනෙක් කිවහැක්. ඒ කෙසේ වෙතත් අද දිනකට විවිධ කර්මාන්ත වලින් පිටකරනුලබන යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය දෙස බලන කළ මිනිස් ජනගහන වර්ධන වගේම වේගයකින් මේ කාර්මික නිශ්පාදන එලිබැසීම සිදුවන ආකාරය දැකබලාගතහැක. ජනගහන වර්ධනය කේන්ද්‍රීය සාධකය වියහැකි නමුත් එය එකම ප්‍රශ්නය නොවනේ මේ කරුණු නිසයි. ජනගහනය යම් මට්ටමකට වැඩි උනත් මිනිස් අවශ්‍යතා අසීමිත්ව වැඩි නොවන්නේනම් බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකම් හරහා සිදුවන පාරිසරික සමතුලිත්තා බිඳවැටීම අඩු වේ. සංවර්ධන න්‍යායන් තුලද රටක නිෂ්පාදන වලින් කොපමණ ප්‍රතිශතයක් කාර්මික නිෂ්පාදනද යන්න වැදගත් මිම්මක් වේ. එහිදී රටක ජනතාව පාරිසරික සමතුලිතතා බිඳනොවැටෙන ලෙස තම පරිභෝජන රටාව කොතෙක් දුරට සාර්ථකව  ගෙනයන්නේද යන කාරනය සංවර්ධන මූලධර්මයන්ට වැදගත් නොවේ.
                                 මේ සංවර්ධන න්‍යායන් අනුගමනය කරන ජනයාගේ මානසික තත්වයද හැඩගැසී ඇත්තේද විදුලි උපකරණ, යාන වාහන හා කොන්ක්‍රීට් ගොඩනැගිලි ආදියෙන් පමණක් ප්‍රගතිය හා දියුණුව දැකීමටය. මෙවැනි තත්වයක් යටතේ පරිසරික වටිනාකම් වල හෝ සොබාදහමේ සමතුලිත්තාවයන් වල අගය කෙරෙහි සංවේදී බවක් බහුතර ජනයා දක්වන්නේ නැත. කොයිහැටි වෙතත් මිනිස් අවශ්‍යතා අසීමිතව වැඩිකරමින්, අධික හා නාස්තිකාර පරිභෝජනය ඔස්සේ ඉදිරියට යන සංවර්ධනය සොබාදහමේ සමතුලිතතාවයන් බිඳවැට්ටීම හරහා මිනිස් සංහතියම ගමන් කරන්නේ ප්‍රගතියකට වඩා අගතියකටය. හේතුවනම් ඒ තුලින් මිනිස් සංහතියේ දිගුකාලීන පැවැත්ම කෙටිවීමයි. තමන් බුක්තිවිඳින බෞතික සැපසම්පත් තුලින් පමණක් තමන්ගේත් ලෝකයේත් ප්‍රගතිය දැකීම මිනිස් කුහකත්වයක් මිස අන්කවර දෙයක් හෝ නොවේ. අද බටහිර රටවල ආත්මාර්ථකාමී ජනයා තනිතනිව තමන් බුක්තිවිඳින භෞතික සැපසම්පත් ප්‍රමාණය වැඩිදියුණු කරගැනීමට ඔවුන්ගේ ඊනියා සංවර්ධන න්‍යාය අනුව ජනගහනය කෙසේ හෝ අවම මට්ටමක පවත්වාගැනීමට උත්සහ දරති. ඔවුන්ට ලෝකයේ සෑම රටකම ජනගහන වර්ධනය කරදරයකි.ඔවුන්ගේ බොරු පරිසර හිතකාමී බවට අනුව සියල්ලට එකම හේතුව මිනිස් ජනගහනය වැඩි වීමයි. එය ප්‍රශ්නයක් නොවේයැයි අප නොකියමු. නමුත් යුදෙවු චින්තනය අනුවයන බටහිර කුහකයන් අනෙකුත් තාක්ෂණික මෙවලම් ඇතුලු අසීමිත භෞතික සැපසම්පත් වෙනුවෙන් නොකරන පහත් වැඩක් නැත. එපමණක් නොව ඔවුන්ගේ ඊනියා සංවර්ධන මූලධර්මයන් ලෝකයටම බලෙන් පටවා තිබෙන්නේ මේ සංවර්ධන මිනුම් දණ්ඩ ලොව සියලු රටවල ප්‍රගතිය මනින පොදු මිම්ම බවට පත්කරමිනි. 
                                මුලු ලොවම අද මුහුණදෙන පාරිසරික අර්බුධයන්ට මුහුණදීම කෙසේවෙතත් ඒවා හරි හැටි හඳුනාගැනීමටවත් මුලින් කළයුත්තේ සැබෑ පාරසරික වටිනාකම් හා සොබාදහම කෙරෙහි වඩා සංවේදී පරපුරක් හැදීමය. අද මේ සංවර්ධන සංකල්පය ඇතුලුව බටහිර නූතනත්වය, ලිබෙරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනි යුදෙවු චින්තනය පදනම් කරගෙන පැනනැගුනු සංකල්ප හා මතවාද වලින් ලෝකයම බැටකමින් පවතී. දැන් ලොවට අවශ්‍ය වන්නේ මේ කුහක මතවාදයන්ගෙන් ගැලවීම මිස වෙනත් දෙයක් නොවේ. එය කිරීමටනම් යුදෙවු චින්තනයෙන් වියුක්ත වූ සොබාදහමට ලැදි විකල්ප චින්තන රටාවක්ම අවශ්‍ය වේ. මේ අවශ්‍යතාවය සපුරාලීමට අපේ බෞද්ධ චින්තන රටාවට නියත වශයෙන් හැකියාව ඇත. බොදු චින්තනය බටහිර නූතනත්වය වැනි යුදෙවු සංකල්ප වලින් අපිරිසිදු නොකළයුත්තේද ඒ නිසාම බව අද දවසේ අප වටහාගතයුතුයි.

No comments:

Post a Comment