Thursday, July 25, 2013

ජාතිකත්වය, දේශපාලනය හා බොරු වාමාංශිකයෝ



දේශපාලනය යනු කුමක්ද? දේශපාලනයක් අවශ්‍යවන්නේ ඇයි? දේශපාලනය යනු වචන අර්ථයෙන්ම දේශයක් පාලනය කිරීමේ  ක්‍රියාවලිය ඇඟවෙන්නකි. එහිදී යම් පාලන තන්ත්‍රයක් තිබියයුතුය. එය ඉබේට අහේතුවකට ගොඩනැගෙන්නක් නොවේ.පාලන තන්ත්‍රයක් තිබීමට එවැන්නක අවශ්‍යතාවයක් මෙන්ම එයට ආකෘතියක් තිබියයුතුය. ඒ කාරණා වලට පදනම වැටෙන්නේ මිනිස් ප්‍රජාවන් විසින් ගොඩනගන ජාතිකත්වයන්ගෙනි. ජාතිකත්වයක් යනු යම් මිනිස් ප්‍රජාවක් සුවිශේෂී භූගෝලීය කලාපයකට හා ඒ ආශ්‍රිත පාරිසරික කලාපයකට දක්වන විශේෂිත අනුවර්තන මෙන්ම ඒ තුලින් මිනිසුන් ගොඩනගන සම්පත් පරිහරන රටාව ඇතුලු ජනසම්ප්‍රදායන්ද සමග සමස්ථ ජීවන රටාව නිරූපනය කරන්නක් වේ.
                          එවැනි හොඳින් ස්ථාපිත වූ ජාතිකත්වයක් හෝ ඒ වටා එක්වන වෙනත් කුඩා සංස්කෘතීන් හෝ නොමැතිව දේශපාලනයක් කිරීමට අවශ්‍යතාවයක් කිසිවෙකුටත්  පැන නොනගියි. වෙනත් ආකාරයකට කිවහොත් දේශපාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ විශේශයෙන් ගොඩනගන ජාතිකත්වයන් මෙන්ම ඒ ජාතිකත්වයන්ගේ ආරක්ෂාව හා ස්වාධීනත්වය පදනමට ගැනුනුවිටය. කරුණු එසේනම් ලොව කොහෙත් කෙරෙන ජාතික දේශපාලනයන්ගේ මූලික පරමාර්ථය වන්නේ යම් ජාතිකත්වයකට අනුව යන ජාතික අරමුණු ඉදිරියට ගෙනයෑම හා ස්වාධීනත්වය රැකගැනීම නොවේද? වර්තමානයේ සීඝ්‍රයෙන් බිඳවැටෙන බටහිර ජාතික අනන්‍යතාවයන් කතෝලික ශිෂ්ඨාචාරය හා සංස්කෘතික පරිසරය ගැන කෙනෙකුට ඇසියහැක. මේ ජාතිකත්වයන්, සංස්කෘතීන් බිඳවැටෙමින් පවතින්නේ ඔවුන් විසින්ම අනුගමණය කරන දුර්වල ප්‍රතිපත්ති වලට අනුවයි. එය එසේ වූ පමණින් බටහිර රටවල් මුලුමනින් තම ජාතිකත්ව රාමු තුලින් ඉවත්වී ලොව අනෙකුත් ජාතිකත්වයන්ට බටහිරම යටවීමට ඉඩ දේයැයි කිව නොහැක. බටහිර කාර්මීකරණය සමග බලවත්වූ යුදෙවු චින්තනය හරහා දේශපාලනික වශයෙන් බලන කල යුරෝපයේ රාජාණ්ඩු බිඳවැටී කරලියට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහිදීද යුදෙවු චින්තනයේම ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට ආ ලිබෙරල්වාදය ප්‍රජාතන්ත්‍රවාදය හා මුසු වී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිවීම බටහිර ජාතිකත්වයන් දුර්වල වීමට යම් රුකුලක් විය. එය එසේ වන්නේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුල රටේ ජාතිකත්වය ගොඩනැගූ පිරිස තීරක බලවේගය වුවත් එයට ලිබරල් වාදයෙන් එන ජාතික අරමුණු වලින් ඔබ්බට ගිය ආත්මාර්ථකාමී හා කුහකත්වයන් එකතු වූ විට ජාතික අරමුණු දියාරු වීමෙනි. එය එසේ වන්නේ කාර්මීකරණ ආර්ථික රටාව හරහා ආත්මාර්ථකාමීත්වය විසින් සමාජය වෙලාගනුලැබීමත් සමග පෞද්ගලික වශයෙන් ධන රැස්කිරීම ඇතුලු වෙනත් ආත්මාර්ට්ථකාමීත්වයන් ඉදිරියට ආකළ ජනයා තුල ජාතික හා සමාජ වගකීම් ඉටුකිරීමට තිබෙන උනන්දුව අඩුවීමෙනි. එතැනදීද ආත්මාර්ථකාමීත්වයේ පතුලටම ගිය පිරිස් සමාජ වගකීම් කරදරයක් ලෙස සැලකීම දැකියහක.




             බටහිර කාර්මීකරණය සමග ඉහත සිදුවීම් වලට සමගාමීව ඉදිරියට ආ අනෙක් ධාරාව වන්නේ මාක්ස්වාදී සමාජවාදය හා ජාතිකත්ව දේශපාලනයට පිටින් යන වාමාංශික දේශපාලනයයි. එහිදී මේ මතවාද අනුව ගියවුන් සියලු දේ ආර්ථිකයට ගොනුකර දක්වන්නෝ වූහ. මොවුන් එක්තරා මට්ටමකට සාමූහිකත්වය පිළිගත්තද ඔවුන් සාමූහික වගකීම් ලෙස ගනු ලැබුවේ ආර්ථික තත්වය නගාසිටුවීමට අවශ්‍ය සාමූහික ක්‍රියාකාරකම් එකතුවක් පමණි. මේ කිසිවක් ජාතිකත්වය මත පදනම් වන ජාතික අරමුණු හෝ ඒ ආශ්‍රිත සමාජ වගකීම් හා යුතුකම් වලට සමාන නොවුණි. විශේෂයෙන් කාර්මීකරණයත් සමග බටහිර සමාජයේ කොටසක් ධනවත් වූ අතර ඒ පිරිසෙන් ඇතමෙක් බටහිර දේශපාලන න්‍යාය අනුව දක්ෂිණාංශික ජාතිකත්වවාදීන් වූහ. තවත් පිරිසක් ලිබෙරල් චින්තනය අනුවගිය ලිබෙරල් ධනවාදීන් වූහ. ඔවුන්ට ධනය රැස්කිරීමේ අරමුණ මිස ජාතිකත්වය රැකීම හෝ සමාජ වගකීම් ඉටුකිරීමේ අරමුණක් නොවීය. මාක්ස්වාදී සමාජවාදය හා වාමාංශික දේශපාලන දර්ශණය අනුගමණය කළවුන්ට තිබුණේ මේ දෙපිරිසටම වඩා වෙනස් ආකල්ප විය. විශේෂයෙන් බටහිර වාමාංශික දේශපාලනය තුල ප්‍රභල කර්තව්‍ය වුනේ ඇති නැති පරතරය අනුව පංති ක්‍රමයට ප්‍රශ්න විග්‍රහ කිරීමයි. තනි තනිව ධනය රැස්කළ ලිබරල් ධනවාදීන්ද ජාතික අර්මුණු වෙනුවෙන් ධනය, බලය මෙහෙයවනුලැබූ ජාතිකවාදීන්ද මොවුන්ට අනුව ධනපති පංතියට අයත් වූ අතර ඔවුන්ට අනුව වත්කම්වලින් අඩු පිරිස නිර්ධන පංතිය හැටියට කළයුතුව තිබුණේ පෙරකී ධනපති පංතිය විසින් බුක්තිවිඳින සියලු සැපසම්පත් ලඟාකරගැනීම සඳහා අරගල කිරීමයි.
                              

        මාක්ස්වාදයේ නිර්මානකරු වූ කාල් මාක්ස්ට තිබුණ එකම දැක්ම වූයේ මිනිසුන් භෞතික සැපසම්පත් ලඟාකරගැනීමට දරන අසීමිත උත්සහයේදීත් කිසිවකින් තෘප්තිමත් නොවී තිබෙන සැපසම්පත් තවදුරටත් වර්ධනය කරගැනීමේ ක්‍රියාවේදීත් සියල්ලෝම එකසමානව එම කාර්‍ය කළයුතුය යන්න මිස මිනිස් අවශ්‍යතා අසීමිතව වර්ධනය නොකර ප්‍රමිතියකට තබාගැනීමට සියල්ලන් එකලෙස කටයුතු කළයුතුය යන්න නොවේ. එහිදී නිර්ධන පංතිය සැමවිට ධනපති පංතිය හා දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලනය සමග ගැටෙමින් ධනය බෙදාගැනීමට අරගල කිරීම ඔවුන්ගේ ප්‍රගතිශීලී සටන විය. මේ මාක්ස්වාදය කරපින්නාගත් වාමාංශික දේශපාලන න්‍යායවාදීන්ට අනුව ඔවුන්ගේ මේ අරගල වලදී ජාතිකත්වයන්, ජාතික වගකීම්, ජනසම්ප්‍රදායන් ආදී කිසිවක් වටිනා දේ නොවේ. ඔවුන්ට අනුව ධනය රැස්කිරීමේ හා සැපසම්පත් බුක්තිවිඳීමේ අරගලය තුලදී සැමදෙනා එකසමාන වියයුතු විනා ජාතික අරමුණු අවශ්‍ය නැත. ජාතිකත්වය වෙනුවෙන් දේශපාලනය කිරීමද මේ වාමාංශිකයන්ට අනුව වැරදිය. ඔවුන්ට අනුව දේශපාලනයද කළයුත්තේ ඔවුන්ගේ වමේ පංති අරගලය අනුව ධනපතියන් විඳින සැපසම්පත් නිර්ධන පංතිය වෙත ලඟාකරගැනීම සඳහා පමණි. මෙලෙස අරගල කිරීමේදී ඔවුන්ගේ පංති අරගලයෙන් ඔබ්බට යන ජාතිකත්වයන්, ජාතික අරමුණු, සංස්කෘතික වටිනාකම්, ජනසම්ප්‍රදායන් ආදී සියල්ල ඔවුන්ට නරක යැයි සිතෙන සෑම දෙයක් සමගම එකට ගැටගසා ධනපති පංතියටත් දක්ෂිණාංශික දේශපාලනයටත් ගොනුකර ඔවුන්ට හොඳ යැයි සිතෙන එමෙන්ම ඔවුන්ට අනුව ප්‍රගතිශීලී සියල්ල ඔවුන්ගේ නිර්ධන පංතියේ අරගලය වටා ගොඩනැගෙන වාමාංශික දේශපාලනයට ගොනු කිරීම මේ වාමාංශික න්‍යායවාදීන්ගේ සාමාන්‍ය සිරිතයි. ඔවුන්ගේ භාෂාවෙන් විප්ලවය ලෙස කරලියට එන්නේ මෙලෙස රටරටවල ජාතිකත්වය මත පදනම්වන ජාතිකවාදී දේශපාලනය බිඳවට්ටා ජාතිකත්වයන් හා ජාතික අරමුණු වලින් තොරවූ සම්පත් හා ධනය බෙදාගැනීමේ අරගලය මත පමණක් පදනම් වන අමුතුම දේශපාලනයක් ස්ථාපිත කිරීමේ වෑයමයි.
                              
   සැබෑ ලෙස බලනකළ බටහිර වාමාංශික දේශපාලනය යනු බටහිර ජාතිකවාදී දේශපාලනය බිඳවැටුනු රටවල ජාතිකත්ව මළමිනිය තුල වැඩෙන ඉහඳ පනුවෙකු පමණි. වාමාංශිකයන්ට කළ හැක්කේ ඉදිරියට යන තාක්ෂණික දැනුම හා කාර්මීකරණය නයා වලිගයෙන් අල්ලාගත් ආකාරයට ජාතිකත්වයන් ඇතුලු සියලු වටිනාකම් වැනසෙන ආකාරයට විනාශකාරී ලෙස පරිහරනය කරමින් මුලු මිනිස් වර්ගයාගේම පැවැත්ම කෙටි කර දැමීමට පමණි.  අද මේ වාමාංශික බොරු සමාජවාදී විප්ලවයන් සිදුවූ රටවලට සිදුවී තිබෙන්නේ අනියම් ආකාරයකට ජාතිකත්වයන් වනසාගැනීම නොවේද? පසුබෑමට ලක්වූ ජාතිකත්වයේ ගුණාංග නැවත ස්ථාපිත කරගනිමින් රුසියාවට යම් සජීවී බවක් ලබාදීමට පුටින් අගමැතිවරයා කටයුතු කරනු අපට වර්තමානයේ දැකිය හැක. එය සැබවින්ම ප්‍රශංසනීය කටයුත්තකි. එවැනි උවමනාවක් වාමාංශික බොරු සමාජවාදී විප්ලව වලින් වෙනස්වූ අනෙක් රටවලට තවම ඇතිවී නැත. ඒ උවමනාව ඇතිවන කාලය වැඩි ඈතකද නොවේ. රුසියානු අගමැතිවරයාට එරෙහිව කාන්තාවිමුක්ති බලවේග හා සමලිංගික බලවේග විරෝධතවයන් පාන ආකාරයද අපට දැකගතහැක. මේ විරෝධතාකරුවන් වාමාංශික හා ලිබෙරල්වාදී දෙකොට්ඨාශයටම අයත්ය. මේ බංකොලොත් මතදාරීන්ට කළ හැකි එකම දේශපාලනය වන්නේ දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාවයක් ඇතිකරන සැබෑ සාධකය වන ජාතිකත්වයම වනසන ඉහඳ පනු දේශපාලනයයි. මේ ඉහඳපනු දේශපාලනය අවසානයේ ලොව පුරා මුස්ලිමුන්ගේ ව්‍යාප්තවාදයටද රුකුල් දෙනුලබයි. 
 

                ලංකාවේ අප විසින් මෙරට වාමාංශික දේශපාලනය ගැන වටහාගතයුතු එකම සත්‍ය කාරනය වන්නේ මේ වාමාංශික දේශපාලනයද බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයේම තවත් එක් ආකාරයක් යන්නයි. මෙරට වාමාංශික මාක්ස්වාදීන් අධිරාජ්‍යවාදයට විරුද්ධ වන්නේ ආර්ථික හේතු මත පමණි. මොවුන්ගේ දේශපාලනය අවසානයේ සේවය කරන්නේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව ක්‍රියාකරන බටහිර යුදෙව් අනාගමික මතවාදී ආක්‍රමණයටය. මේ ඉහඳපනු දේශපාලනය මෙරට තුල අසාර්ථක වී තිබෙන්නේ රටේම වාසනාවට වෙයි. දෑකැත්තයි මිටියයි සංකේතය ලෙස භාවිතා කරන රතු දේශපාලන කණ්ඩායම් කොයි එකත් එකය. බොරු දේශප්‍රේමයක් මවාගන්නා ජනතා විමුක්ති පෙරමුණ ගැන කිවහැක්කේද ඒ ටික පමණය. මේ වාමාංශික දේශපාලන කණ්ඩායම් අප සැබෑ දෑහිතකාමීන් ලෙස ප්‍රතික්ෂේප කළයුත්තේ ඔවුන්ගේ ඉහඳපනු දේශපාලනයට වැඩීමට මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය මළකඳක් බවට පත්නොකිරීමට වගබලාගනිමිනි.

5 comments:

  1. ලිපිය අන්තිම ඉහලයි.මගේ බ්ලොග් එකේ තාවකාලික විරාමය නොදැනෙන්න ඔබ හොදින් ලියන්න.පිස්සු විකාරද ඇමතිගෙ ඡායා රූපය අඩුයි නේද?

    ReplyDelete
    Replies
    1. කවුද ඔය පිස්සු විකාර ඇමතියා

      Delete
  2. මට නං මේ පිස්සෝ ටික පෙන්නනම බෑ. ලිපිය නියමයි ප්‍රතිවාදියා.

    ReplyDelete
  3. ලිපිය අගය කරනවා. ඉහළින්ම. ඒ වගේම යම් දෙයක් එකතු කරනවා නම්, මේ රටේ සිංහල බෞද්ධ ජාතිකත්වය මළකඳක් වේගෙන යාම පිළිබඳව වගකියන්න ඕනේ බංකොළොත් වාමාංශික කඳවුරුවලට වඩා සිංහල බෞද්ධ ජාතිකත්වය තුළින්ම මතුව, එය විකුණාගෙන කන ගරිල්ලා සංවිධාන බවත් මතක් කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ වටිනා අදසට. ඔබ කියන කාරනේ මමත් පිළිගන්නවා මේ අයුරින්.ඒ තමයි සිංහල බෞද්ධ සංවිධාන තුලින්ම මතුවන ජාතිකත්වයට පිටින් යන කණ්ඩායම් අවසානයේ බටටහිර මතවාදී ආක්‍රමණය සමග එකට හිටගන්නවා, එතනදි වාමාංශික කඳවුරයි ඒ අයයි ඉන්නේ එක පැත්තක කියන කාරනේ මතක්කර දෙමින්.

      Delete