Monday, June 24, 2013

බුදු දහම තුලට මිනිස් කුහකත්වයන් ඇතුල් කිරීමේ අවිචාරය.




බුදු දහම ගැන කතා කිරීමේදී අපට වෙනත් මාතෘකා ගැන කතා කරන ආකාරයට සැහැල්ලුවෙන් මෙන්ම අපට හුරු පුරුදු ආකාරයටම එය කළ නොහැක. එහිදී බුදු දහමේ අන්තර්ගතය අපට හුරුපුරුදු අර්ථගැන්වීම් සම්මුතීන් ඇසුරෙන් තේරුම්ගැනීමේදීද යම් ගැටලුසහගත තැන් බොහෝ තිබියහැක. බුදු දහමට අනුව මනස මුල්කරගෙන ගොඩනැගෙන සංස්කාර සියල්ල අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ගොඩට අයත්ය. ඒ පිළිබඳ අවබෝධය විද්‍යාවත් අනවබෝධය අවිද්‍යාවත් වේ. මේ කරුණු තේරුම් බේඅරුම් කරගැනීමද මනස මුල්කරගෙන ගොඩනැගෙන සංස්කාර ඇසුරෙන්ම කිරීමේදි අප අපේ මනසේ තිබෙන දුර්වලතාවයන් ගැන ද වැටහීමක් ඇතුව කටයුතු කළයුතුය. සිදුහත් කුමරු චතුරාර්ය සත්‍ය (අප එදිනෙදා ජීවිතයේ කතා කරන භාශාවෙන් සත්‍ය යන්න නොවේ) අවබෝධ කරගත්තා මිස බුදු බව ලැබීමෙන් පසු බුදු දහම නමින් දැනුමක් නිර්මාණය කර නැත. එමෙන්ම බුදු දහමට අනුව අවබෝධය යනු යමක් කියවා තේරුම්ගැනීමද නොවේ. අප උදාහරණයක් ලෙස දුම් බීමේ අහිතකර ඵල විපාක ගැන ලියවුනු ලිඛිත විස්තරයක් සලකමු. දුම් බීමට පුරුදු වූ කෙනෙකුට එය කියවා තේරුම්ගතහැක, එලෙසම එය තේරුම් ගත්තද එම පුද්ගලයාට දුම් බොන පුරුද්ද අත්නොහැර සිටීමටද හැක. නමුත් එම පුද්ගලයා දුම්බීමේ අහිතකර ඵ්ලවිපාක ගැන තිබෙන කරුණු හරි හැටි අවබෝධ කරගත්තේනම් ඔහු දුම් බීමේ පුරුද්දද අත්හැරියයුතුය. බුදු දහමේ අතර්ගතය අප එදිනෙදා ජීවිතයේ තේරුම්ගන්නා ආකාරයද ඉහත උදාහරනයට බොහෝ දුරට සමාන වේ.
                              

  බුදු දහම හා බෞද්ධ සමාජය සැලකීමේදී වෙනත් ආගමක් හා එම ආගම අදහන ජනසමාජය අතර තිබෙන සම්බන්ධතාවයට වඩා වෙනසක් දැකියහැක. එනම් වෙනත් ආගමක් පැවිදි පාර්ශවයද ඇතුලුව එම ආගමේ සියලු මූලාශ්‍රයන් ඒ ආකාරයට අනුගමනය කරමින් ඊට අනුගතවුවන් 100% ක්ම සිටිය හැක. නමුත් බුදු දහමට අනුව චතුරාර්ය සත්‍ය හා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අවබෝධය අතින් පැවිදි පාර්ශවයද ඇතුලුව බෞද්ධ සමාජයේ සියලුදෙනා සිටින්නේ එක් එක් මට්ටම් වලය. ඒ අනුව ඔවුන් කිසිවෙකු හරියටම බෞද්ධ නොවේ යැයි කිසිවෙකුටත් කිව නොහැක. බුදු දහමට අනුව සාමාන්ය්‍ය ගිහි ජීවිතය හැඩගසාගැනීමට අවශ්ය්‍ය මූලික සම්මුතීන් එකතුවක් පංච ශීලයෙන් පෙන්වාදෙයි. සොබාදහමේ සීමාමායිම් වලට හා මිනිස් ස්වභාවයන්ට අනුව මෙලොව පැවැත්ම සඳහා සමාජයක තිබියයුතු මූලික ගුණාංග හරිහැටි පවත්වාගනිමින් සම්මුතිවාදී දිවිපැවැත්මක් ගෙනයන අතරතුර බුදු දහමේ ගැඹුරින් පෙන්වාදෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අවබෝධය දෙසට මනස මෙහෙයවීම බෞද්ධ ජනයා සාමාන්‍ය වශයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියයි. එහෙත් මෙරට ඉතිහාසය සැලකීමේදී බටහිර අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් අප සමාජයට කාවැදී ඇති යුදෙවු චින්තනයටත් බටහිර නූතනත්වයටත් අනුව, මෙරට විශේෂයෙන් බටහිර අනුකරනවාදීන් මනස මෙහෙයවීමට පුරුදුවී තිබෙන්නේත් ඔවුන් ගොඩනගාගෙන තිබෙන බොරු ප්‍රභූත්වය අනුව අන් අයට මනස මෙහෙයවීමට හුරු කරන්නේත් බුදුදහමේ පෙන්වාදෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දෙසටයි. ඔවුන් අනුගමනය කරන බටහිර නූතනත්වයටත් ඊට පදනම් වන යුදෙවු චින්තනයටත් අනුව මනස මෙහෙයවීමට අනුබල දෙන්නේ මිනිස් අවශ්ය්‍යතා මත මුලු සොබාදහම පවා විකුර්තිකර එයට තාක්ෂණය හා දියුණුව යැයි කීමටය. නවීන විද්‍යාව ලෙස පැනනැගී ඇති යුදෙවු චින්තනය මත පදනම් වන දැනුමද බුදු දහමට අනුව මනස මුල්කරගෙන ගොඩනැගෙන්නක් මිස මනසේ දුර්වලක්ම් අවබෝධ කරවන්නක් නොවේ. එමෙන්ම මේ විද්‍යා දැනුම යුදෙවු චින්තනය විසින් මෙහෙයවනු ලබන්නේද මිනිස් අවශ්‍යතා මත සොබාදහම විකුර්තිකර යම් වින්දනයක් ලැබීමේ ක්‍රියාව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ප්‍රධාන මෙවලමක් ලෙසය.
                              
     මනස මුල් කරගෙන ගොඩනැගෙන සියල්ල තුල මිනිස් කුහකත්වයන්ද විවිධ් මට්ටම් වලින් ඇතුලත්වේ. අද මෙරට බෞද්ධ සමාජය හමුවේ ඇති අභියෝග දෙස බලන කල එක් ප්‍රධාන පෙලේ දෙයක් නම් බුදු දහමත් බෞද්ධ සමාජයත් වැනසීමට වෙර දරන පිරිස් ඒ සඳහා බුදු දහමේම යම් යම් කොටස් අයතා ලෙස පරිහරණය කිරීමයි. මේ පිරිසට බුදු දහම අනුව නිවනක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් අනුගමනය කරන බටහිර නූතනත්වයට හා යුදෙවු චින්තනයට අනුව මිනිස් අවශ්‍යතා මත සොබාදහම නොපිට පෙරලා විකුර්ති තෘප්තියක් ලැබීමේ වැඩපිලිවෙල සඳහා බුදු දහමෙන් අවශ්ය්‍ය යැයි කියා ඔවුන්ට සිතෙන කොටස් හොරකම් කරගැනීමට පමණි. එහිදී ඔවුන්ට බෞද්ධ සමාජය වැනසීමට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ගමනට බුදු දහම අනුව සම්මුතිවාදී දිවිපෙවෙතක් ගෙනයන පිරිස බාධාවක් වන බැවිනි. ඔවුන්ගේ ගමන තුල මිනිස් අවශ්‍යතා සංකීර්ණ කරගනිමින් භෞතික දියුණුවේ අනන්තය කරා මනස මෙහෙයවන්නේද, කිසිවකින් තෘප්තිමත් නොවන මනසේ දුර්වලතාවය ඔවුන් තේරුම් නොගනිමින්ය.
 

                              
     ඉහතින් පෙන්වාදුන් කාරණය අපේ රට තුල අපි අත්දැක ඇති ආකාරය ගැන බොහෝ කරුණු අපට කිව හැක. ඊට පෙර තවත් කිවයුතු කරුණක් කෙටියෙන් ඉදිරිපත් කරමි. එනම් අප සිංහල බෞද්ධයන් මිස ජාත්ය්‍යන්තර බෞද්ධයන් නොවන බවයි. බුදු දහම යනු බුදුන්වහන්සේ විසින් පොදුවේ මනුෂ්‍යයන්ට දේශනා කරන ලද්දක් වන බැවින් ලොව ඕනෑම මිනිස් ප්‍රජාවකට ආදේශකරගත හැකි වේ. මෙරට බෞද්ධ සමාජ පරිසරය තුල අපට දක්නට ඇති කරුණු කාරණා වලට අනුව, සිංහලයන් බුදු දහම වැලඳගැනීමට පෙර පැවති විවිධ ඇදහිලි මෙන්ම සිංහල සමාජයේ තිබෙන නැකැත් ශාස්ත්‍රය ජ්‍යෝතිෂය ආදියද සිංහල බෞද්ධ සමාජ පරිසරය තුල පැහැදිලිව දැකිය හැක. බුදු දහමට අමතරව සිංහල සංස්කෘතික පරිසරය තුලින් ආදේශ වී ඇති එම අංග අප සමාජය තුල පවතින්නේ බුදු දහමටද එකඟ මිනිස් සමාජයක යම් නිරවුල් පැවැත්මක් සඳහා අවශ්‍ය මූලික ගුණාංග සමගින් එකට අනුගතවන සාධකයන් ලෙසය.  මෙරට 1948 නි පසුව ලද නාමික නිදහසත් සමග රටේ ඉදිරිගමන ඇතුලු සියල්ල තීරණය කරන තීරක බලවේගය වූයේද බටහිර නූතනත්වයේ හා යුදෙවු චින්තනයේ අනුගාමිකයන් වූ බටහිර අනුකාරක පැලැන්තියයි. බටහිර අධ්‍යාපනය හරහා ඔවුන් අතරින් බිහිවූ ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් ( ඇතැම් ඕල්කට් බෞද්ධයන්ද ඇතුලුව ) සැමවිට කියා සිටින්නේ බෝධිපූජා නැකැත් හා ජ්‍යෝතිෂය වැනි දේ බුදු දහමට එකඟ නොවන බවයි. එමෙන්ම ඔවුන් විසින් පුන පුනා කියනුලබන තවත් දෙයක් වන්නේ බෞද්ධයන් බුදු දහම හෝ බෞද්ධ සමාජය රැකීමටවත් කවර තර්ජනයක් හමුවේ වුවද ඊට එරෙහිව සටන් නොකළයුතු බවයි. එසේ දැනමුතුකම් දෙන මේ ඊනියා උගත් බුද්ධිමත් පිරිස සාමාන්‍ය වශයෙන් බටහිර නූතනත්වය තුලට අනුගත වීමටත් සංකීර්ණ අවශ්‍යතා මත අධික හා නාස්තිකාර පරිභෝජන රටාවක් ගෙනයෑමටත් බෞද්ධ සමාජය රැකගෙන බුදු දහම අනුව සරල ජීවන රටාවක් ගෙනයනවාට වඩා කැමැතිය. නවීන විද්‍යාවෙන් බුදු දහම ඔප්පු කිරීමට යමින්, බටහිර විද්ය්‍යා දැනුම සමග ගලපාගත නොහැකි බුදු දහමේ ඉගැන්වීම් පලකට නැතැයි කියන්නේත් මේ පිරිසයි. නවීන විද්‍යාවද මිනිසුන් විසින් මනස මුල්කරගෙන ගොඩනගන දැනුමක් බවත්, එයද බුදු දහමට අනුව අයත වන්නේ අනිත්‍ය, දුක්ඛ්, අනාත්ම ගොඩටම බවත් කුමන කරුමයක් නිසා හෝ මොවුන් තේරුම්ගෙන නැත. එසේ නැතිනම් තේරුම් ගියද බුදු දහමට වඩා බටහිර නූතනත්වය හා නවීන විද්‍යාව ඇදහීමේ කුහකකමින් ඒ සියල්ල ඔවුන් අමතක කරති.
                             අනෙක් බරපතල කාරනය වන්නේ ලිංගිකත්වය මත පවතින සමාජ කුහකත්වයන් බුදු දහමට ඇතුල් කිරීමට උත්සහ දැරීම හා බටහිර නූතනත්වය සමග ඉදිරියට ආ යුදෙවු කුහකත්වයන් බෞද්ධ සමාජ පරිසරයට ආදේශ කිරීමයි.  එහිද වඩා හානිකර අංගය වන්නේ බටහිර කාන්තා විමුක්තිවාදය බෞද්ධ සමාජයට ආදේශ කිරීමයි. බටහිර නූතනත්වයේ සරණ ගියවුන්ට අනුව බටහිර කාන්තාවිමුක්තිය සියල්ලන්ට පෙර බුදුන්වහන්සේ විසින් ලබාදී ඇත. බුදු දහමට අනුව විමුක්තිය නිවනයි. බටහිර කාන්තාවිමුක්තිය යනු කාන්තාවන් නිවන් අවබෝධ කරගැනීමද? නැත. මෙය හුදෙක් කාන්තාවන් පිරිමි ලිංගිකත්වය පවා අනුකරණය කරමින් පිරිමින් සමග සටන් කිරීමත් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයට වෛර කිරීමත් මත පදනම් වන බුදු දහමට අනුව බලනකළ ලෞකික ජනසමාජයේද පවතින අන්ත මිථ්‍යාදෘෂ්ඨියකි. තවද මේ අනුකාරකයන්ට අනුව බුදුන්වහන්සේ විසින් කාන්තාවන් පිරිමින්ට සමාන කර සමාන තැනක් ලබාදී ඇත. ඔවුන් එය සනාත කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස හා විශේෂයෙන් භික්ෂුණී ශාසනය පදනමට ගෙනයි. බුදුන්වහන්සේ විසින් භික්ෂුණීශාසනයක් නිකම් පිහිටුවා නැත, උන්වහන්සේ එය නිසි විනය කර්ම වලට අනුව පිහිටුවා ඇත. එලෙසම භික්ෂුණීශාසනය බුදුන්කල පිහිටුවනුලැබූවේ කාන්තාවන්ට පිරිමි ලිංගිකත්වය පවා අවිචාරවත් ලෙස අනුකරනය කරමින් පිරිමින් සමග සටන්වැදීමට නොවේ. බටහිර නූතනත්වය බුදු දහමටත් ඉහලින් අදහන කුහකයන්ට මේ අනුව කාන්තාවන්ගේ පෙරකී විකුර්ති හැසිරීමද බුදු දහමෙන් අනුමත කර ඇත. ලිංගිකත්වය හා ලිංගික අවශ්‍යතාවයන් ගැන බුදු දහමට අනුව සංසන්දනාත්මකව යමක් කීමද අත්‍යවශ්‍යය. එනම් අන් සියල්ලක් මෙන්ම ලිංගික ආශාවන්ද මනසින් අත්හලයුත්තේ බුදු දහමට අනුව එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ගැන අවබෝධයකින් මිස ලිංගිකත්වයේ ස්වභාවය හෙලා දකිමින් ඊට තඩිබාන කුහකකමත් ඒ මත පදනම්වන බොරු ගුණයහපත්කමත් අනුව නොවන බවයි. නමුත් තමන්ට ආවේනික කුහක කමට බටහිර නූතනත්වය හරහා එන යුදෙවු කුහකත්වයන්ද ආදේශ කරගත් තැන කුහකයන්ට අනුව සොබාදහමෙන් ලිංගිකත්වය නිර්මාණය වී තිබෙන ආකාරයට වැරෙන් තලමින් එය විකුර්ති කිරීම බුදු දහමේ අනුමත කර ඇත. බුදු දහමට අනුව ලිංගික අවශ්‍යතා ජීවිතයෙන් අත්හැරීම යනු උදාහරන වශයෙන් ගත්කල පුම්බපු බැලිමක කට ලෙහාදමා මුලුමනින් වාතය ඉවත් කිරීම වැනි දෙයකි. නමුත් කුහක පඬියන් කරන්නේ බැලුමේ කට ලෙහීම වෙනුවට එය පැත්තකින් මිරිකීමයි. එවිටසිදුවන්නේ වෙනත් පැත්තක් පිම්බීම වේ. මේ කුහකයන් බෞද්ධකම යැයි කියමින් ලිංගිකත්වයේ ස්වභාවය වැරෙන් යටපත්කිරීමට යෑමේ අවසන් ප්‍රතිඵලය සමලිංගිකත්වය ඇතුලු ඒ ආශ්‍රිත සියලු විකුර්ති හැසිරීම් සමාජය තුලින් පැනනැගීමට අවශ්‍ය ඉඩ සලසා දීමයි.  මේ අවිචාරය බුදු බණටම අනුව නයා වලිගයෙන් අල්ලාගැනීමට සමානය.
                                                                       අවසාන වශයෙන් කාට කාටත් මතක්කර දියයුතු කරුණක් තිබේ. එනම් අප බෞද්ධයන් ලෙස කවදා කෙසේ සසර ගමන නිම කර නිවන කරා ගියද එතෙක් මෙලොව ජීවිතය යහපත් කර ගැනීම සඳහා සම්මුතිවාදී දිවි පෙවෙතක් අනුගමනය කළයුතුය. මේ සම්මුතිවාදී දිවිපෙවෙතට බෞද්ධයන් ලෙස සොබා දහමේ සමතුලිතතාවයන් බිඳනොවැටෙන ආකාරයට පවත්වා ගන්නා සම්පත් පරිහරන රටාවක්, බෞද්ධ සමාජයේ නිරවුල් පැවැත්මට අවශ්‍ය ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ ක්‍රමවත් ලිංගික ජීවන රටාවක් හා බුදු සසුනත් බෞද්ධ සමාජයත් රකින පාලන තන්ත්‍රයක් යන මූලික අංග ඇතුලත්වියයුතුය. බෞද්ධයන්ට බුදු දහමේම කොටස් අයතා ලෙස පරිහරණය කරමින් මේ ගුණාංග වනසා දමන්නට අනුබල දෙන කුහකයන් අවසන් වශයෙන් කරනුලබන්නේ බටහිර නූතනත්වය හා යුදෙවු චින්තනය අනුව යමින් අතෘප්තිකර මිනිස් අවශ්‍යතා තවත් වර්ධනය කර අවසානයේ සොබාදහමද විකුර්තිකරදමන ක්‍රියාවලියට අවශ්‍ය පරිදි අවස්ථාවාදීව ඒ සඳහා බුදු දහම යෙදවීමයි. මේ කුහකකම් වලට හසු නොවී තමන් බුදු දහම අදහන මනුස්සයන් මිස බුදුවරුන් හෝ රහතන්වහන්සේලා නොවනවග සිහි තබාගෙන බුදු දහමට අනුව සම්මුතිවාදී දිවිපෙවෙතක් ගෙනයාහැකිනම් මෛත්‍රී බුදුන් බුදු වූ කලක හෝ සසර ගමන නිමකළහැකිවනු ඇත. කුහක කම් වලින් අන්ධ වී බෞද්ධ සමාජයේද පැවැත්මට බලපාන මූලික ගුණාංග සියල්ල වනසාගතහොත් සිදුවන්නේ බුදුවරයෙකුගේ පහලවීමක් ගැන සිතාගැනීමටවත් නොහැකි ලෙස මුලු මිනිස් සංහතිය ජරාවෙන් ජරාවට පත්වීම පමණි.
 
 මේ ලිපිය එක්කළේ පොසොසොන් පෝය නිමිත්තෙනි.

No comments:

Post a Comment